බෙංගාල බොක්ක ආශ්රිත කලාපීය සමුද්රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමේ සහ මෙහෙයුම් සම්බන්ධීකරණය ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දියානු නාවික හමුදාව විසින් ප්රථම වරට සංවිධානය කරනු ලබන ‘BIMSTEC – 2026’ බහුජාතික සමුද්රීය ආරක්ෂක අභ්යාසයට සහභාගී වීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාවට අයත් ‘ගජබාහු’ නෞකාව කොළඹ වරායෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් චමින්ද කරුණාසේන ඇතුළු ජ්යෙෂ්ඨ නාවික නිලධාරීන්ගේ ප්රධානත්වයෙන් පැවැති නිල සමුදීමේ උත්සවයකින් අනතුරුව නෞකාව පිටත්වූ අතර, මෙම මෙහෙයුම කලාපීය ආරක්ෂක ව්යුහය තුළ ශ්රී ලංකාව සතු උපායමාර්ගික වැදගත්කම නැවතත් තහවුරු කරන්නකි.
ඔක්තෝබර් 30 වනදා සිට නොවැම්බර් 03 වනදා දක්වා පැවැත්වීමට නියමිත මෙම දැවැන්ත සමුද්රීය අභ්යාසය සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්රී ලංකාව සහ තායිලන්තය යන බහු ක්ෂේත්ර තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක මුලපිරීමෙහි (BIMSTEC) සාමාජික රාජ්යයන්හි නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් එක්වීමට නියමිතය. සමුද්රීය ක්ෂේත්රය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම, නීතිවිරෝධී ජාවාරම් මර්දනය සහ හදිසි ආපදා මෙහෙයුම්වලදී ඒකාබද්ධව ක්රියාකිරීමේ හැකියාව වර්ධනය කරගැනීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර, එය කලාපීය නාවික සහයෝගීතාවයේ නව සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
කලාපීය භූ-දේශපාලනික සංවේදීතාවන් සහ සමුද්රීය තර්ජනයන් ඉහළ යමින් පවතින වර්තමාන වටපිටාව තුළ, මෙවැනි ඒකාබද්ධ නාවික අභ්යාසයන්ට ශ්රී ලංකාව සක්රීයව දායක වීම ජාත්යන්තර මට්ටමින් මෙරට නාවික හමුදාවේ වෘත්තීය නාමය තහවුරු කිරීමට ප්රබල පිටිවහලක් සපයයි. මෙම හවුල්කාරිත්වය හරහා බෙංගාල බොක්ක කලාපයේ නාවික ආරක්ෂාව තහවුරු වන අතරම, ඉදිරියේදී මතුවන කලාපීය සමුද්රීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා BIMSTEC සාමාජික රටවල් අතර උපායමාර්ගික නාවික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














