වප් පොහෝ දිනයේදී බලපත්රයක් නොමැතිව රා බෝතල් අලෙවි කළ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු රා බෝතල් 55ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඔක්තෝබර් 25 වැනිදා මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බගවන්තලාව කර්කස්වෝල් වතුයායේ මැද කොටසේ පදිංචිකරුවන් බව සඳහන් වේ.
වප් පොහෝ දිනයේ මත්පැන් අලෙවිසල් වසා තිබීම හේතුවෙන් වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරීම සඳහා රා බෝතල් රැගෙනවිත් සැකකරුවන් පදිංචි නිවසේ ස්ථාන දෙකක සඟවා තිබූ බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තාවේ දැක්වේ.
එම තොරතුර මත සිදුකළ වැටලීමේදී සැකකරුවන් සහ රා බෝතල් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා බගවන්තලාව පොලිසිය වෙත භාර දී ඇති බව සඳහන් වේ.














