වාණිජ මහාධිකරණය විසින් 2024 වසරේදී නිෂ්ප්රභ කළ නඩුවක් සම්බන්ධයෙන් එම නියෝගය ඉවත දමා, නඩුව කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
කිෂ් ඉන්ටර්නැෂනල් (Kish International Pvt Ltd) සමාගම විසින් ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇත. මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජකරුණා සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලක් එය ප්රකාශයට පත් කළේය.
අදාළ නඩුවේදී, වාණිජ මහාධිකරණයේ නඩු පැවරීමට අවශ්ය අවම මූල්ය සීමාව සපුරාලීම සඳහා පැමිණිලිකාර සමාගම ඉල්ලා සිටි මුදල කෘත්රිමව ඉහළ නංවා ඇති බවට විත්ති පාර්ශ්වය තර්ක කර තිබුණි. එම තර්කය පිළිගනිමින් වාණිජ මහාධිකරණය 2024දී නඩුව නිෂ්ප්රභ කර තිබිණි.
ඊට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ පැමිණිලිකාර සමාගම පෙන්වා දී තිබුණේ, පූර්ව නඩු විභාග අවස්ථාවේදී සාක්ෂි ඉදිරිපත් කර ඒවා ඇගයීම සිදු නොවන බැවින්, එම අවස්ථාවේ සාක්ෂි නොමැති බව පදනම් කරගෙන නඩුව නිෂ්ප්රභ කිරීම නීතිමය වශයෙන් ගැටලු සහගත බවයි.
ශ්රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ, නඩුව ආරම්භ කරන අවස්ථාවේදී අධිකරණයේ මූල්ය අධිකරණ බලය නිසි ලෙස ස්ථාපිත වී තිබේ නම්, පසුව නඩු විභාගයේදී ඔප්පු වන මුදල ඉල්ලා සිටි මුදලට වඩා අඩු වීම පමණක් හේතුවෙන් එම බලය අහෝසි නොවන බවයි. එමෙන්ම, පූර්ව නඩු විභාග අවස්ථාව භාවිත කරමින් මුල් නඩු ලේඛනවලින් පිටතට ගොස් නව කරුණු මතු කිරීම හෝ නඩුවේ විෂය පථය පුළුල් කිරීම නොකළ යුතු බවද තීන්දුවේ සඳහන් වේ.
ඒ අනුව, වාණිජ මහාධිකරණයේ නියෝගය ඉවත දැමූ ශ්රේෂ්ඨාධිකරණය, නඩු ගාස්තු විත්තිකාර පාර්ශ්වයෙන් අයකර පැමිණිලිකාර සමාගමට ගෙවන ලෙස නියෝග කර ඇත. නඩුවේ ඉදිරි කටයුතු කඩිනමින් සිදු කර විභාගය අවසන් කරන ලෙසද වාණිජ මහාධිකරණයට දැනුම් දී තිබේ.













