දේශීය සිනමා ක්ෂේත්රයේ නියුතු සියලුම වෘත්තිකයින්ගේ අනාගතය සුරක්ෂිත කරමින් සහ සිනමාවේ අභිවෘද්ධිය උදෙසා “සිනමාව කර්මාන්තයක් බවට පත්කිරීම” වෙනුවෙන් සකස් කරන ලද විශේෂ යෝජනාවලිය අද (26) දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
මෙම අවස්ථාව සඳහා සිනමා අනුමණ්ඩලයේ සභාපති, ප්රවීණ චිත්රපට අධ්යක්ෂ අනුරුද්ධ ජයසිංහ, ශ්රී ලංකා කලා අධ්යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති බිමල් දුෂ්මන්ත, ශ්රී ලංකා වෘත්තීය අංගරචනා ශිල්පීන්ගේ සංගමයේ සභාපති නයන් උජිත්, සහය අධ්යක්ෂවරුන්ගේ සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමයේ ලේකම් චලින් මනුරංග, විදේශ චිත්රපට නිෂ්පාදකයින්ගේ සංගමය නියෝජනය කරමින් යසස් රත්නායක සහ අමාත්යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්රේමරත්න තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ සංගම් සහ ප්රවීණයන් රැසක් එකව සිටියහ.
මෙහිදී සිනමාවේ සංස්කෘතික, අධ්යාපනික, නියාමන සහ සංරක්ෂණ කටයුතු සංස්කෘතික අමාත්යාංශය සහ ජාතික චිත්රපට සංස්ථාව යටතටත්, එහි “ව්යාපාරික හා නිෂ්පාදන කර්මාන්ත” කොටස කර්මාන්ත අමාත්යාංශය යටතටත් වෙන් කරමින් නීතිමය රාමුවක් සකස් කිරීමට සියලුම වෘත්තීය සංගම් ඉදිරිපත් කළ යෝජනාව අමාත්යතුමාගේ මහත් ඇගයීමට ලක්විය. ඉතා ඉක්මනින් කර්මාන්ත අමාත්යාංශය සහ සංස්කෘතික අමාත්යාංශය ඒකාබද්ධ වී මෙම යෝජනාවලිය ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය ඉදිරි පියවර ගන්නා බවට අමාත්යතුමා මෙහිදී සහතික වූ අතර, සිනමා කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වෘත්තීය සංගම් ඉටුකරන අප්රතිහත සේවය ද විශේෂ ප්රශංසාවට ලක් කළේය.














