ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා තුනක් අද (26) නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට ළඟා විය. ‘INS Tir’, ‘INS Sujata’ සහ ‘ICGS Sarathi’ යන නෞකා මෙලෙස පැමිණ ඇති අතර, නාවික හමුදා සම්ප්රදායන්ට අනුව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය සඳහා පැමිණි නෞකා අනුයුක්තව පුහුණුව ලබන නිලධාරී පුහුණුලාභීන් 135 දෙනෙකුද මෙම නියෝජිත පිරිසට ඇතුළත් වේ. ‘INS Tir’ නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කැප්ටන් ටිජෝ කේ. ජෝශප් මහතාද, ‘INS Sujata’ නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කොමාණ්ඩර් ජිෂ්ණු මාධවන් මහතාද, සහ ‘ICGS Sarathi’ නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කමෙන්ඩන්ට් කුන්දන් සිං මහතාද කටයුතු කරති.
ශ්රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව, අදාළ නෞකාවල අණදෙන නිලධාරීන් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී හමුවී ඇති අතර, මෙම සංචාරය සිහිපත් කිරීම සඳහා එහිදී ස්මාරක තිළිණ හුවමාරුවක්ද සිදුව තිබේ. ශ්රී ලංකා නාවික හමුදාව සමඟ අන්යෝන්ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩසටහන් කිහිපයකටම සහභාගී වීමට ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් සහ පුහුණුලාභීන් කටයුතු කරන අතර, ශ්රී ලංකා නාවික හමුදා පිරිස් වෙත නෞකාවල පුහුණු සැකසුම් නිරීක්ෂණය කිරීමට සහ මෙහෙයුම් විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමටද මෙහිදී අවස්ථාව හිමිවේ.














