ලොව ප්‍රමුඛතම තේ අපනයනකරුවා ලෙස හා ලොව ගුණත්වයෙන් ඉහළම තේ සන්නාමය ලෙස ජාත්‍යන්තර කීර්තිය අත්පත් කරගෙන තිබූ අප රටේ තේ කර්මාන්තය සම්පූර්ණයෙන් ම පාහේ බිඳවැටීම පසුගිය රජයේ කාබනික වගා වියරුවේ එක් ප්‍රථිපලයකින් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කුඩා තේ වතු හිමියන් මුහුණ දෙන ගැටලු පිළිබඳව, ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂනායකවරයා අද (16) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කර සිටියේය.
රසායනික පොහොර තහනමත් සමඟ තේ අස්වැන්න සහ ගුණාත්මක බව සීඝ්‍ර ලෙස පහත වැටු අතර තේ කර්මාන්තයේ ලාභදායී බව අඩුවීම නිසා මහා පරිමාණ තේ වතු ක්‍රමයෙන් නිසරු බිම් බවට පරිවර්තනය වෙමින් පවති බව හෙතෙම පැවසිය.
මේ පිළිබඳ අදහස් දැක් වු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය මෙසේය “කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හා තේ කම්හල්හි පැවති තිරසාර බව බිඳ වැටිණි .බිඳ වැටුණු තේ නිෂ්පාදන චක්‍රය නැවත කඩිනමින් පණ ගැන්වීම, විදේශ විනිමය නැවත ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස පමණක් නොව මෙම කර්මාන්තය මත යැපෙන ලක්ෂ 5ක පමණ පුද්ගලයින් වෙනුවෙන් අත්‍යාවශ්‍යයෙන් ම සිදු කළ යුත්තකි.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
1. තේ වගාව අඛණ්ඩව හා ඵලදායී ලෙස පවත්වා ගැනීමට අවම වශයෙන් 5%ක හෝ නැවත වගාවක් වාර්ෂිකව සිදු කළ යුතු වේ. ඒ සඳහා තේ තවාන් පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වන යෙදවුම් වන T65 පොහොර, සින්ක් සල්ෆේට් (Zinc Sulphate), එප්සෝම් සෝල්ට් (Epsom Salt) සහ මෙටාසෝඩියම් පලිබෝධ නාශක මෙරට තුළ හිඟවීම නිසා තේ නැවත වගාව සිදු කළ නොහැකි වී ඇත. මෙම ගැටලුව විසඳීම සඳහා රජය ලබා දෙන විසඳුම් කවරේ ද?
2. තේ කර්මාන්තය සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර වන U709, T200 සහ T65 මේ වනවිට වෙළඳපොළ මිළ ඉතා අධිකයි. එසේම, බොහෝ ප්‍රදේශවල මිලට ගැනීම සඳහා පොහොර නොමැත. මෙම පොහොර හිඟය මඟහරවා සාධාරණ හා සහනදායී මිලක් පොහොර සඳහා ලබා දීමට රජය සතුව නිශ්චිත වැඩපිළිවෙලක් තිබේ ද? එසේනම්, ඒ කවරේ ද?
3. තේ කර්මාන්තය සඳහා භාවිතා කළ ග්ලයිෆෝසේට් වල් නාශකය කිසිදු විකල්ප හඳුන්වා දීමකින් තොරව එකවර තහනම් කිරීම සිදු කළ නිසා ගුණත්වයෙන් අඩු සහ ඉතා හානිකර වල් නාශක තේ වගාකරුවන් අතර ව්‍යාප්ත වීම සිදුවිය. ප්‍රමිතියෙන් තොර වල්නාශක වෙළඳපොලෙන් ඉවත් කිරීමට රජය ගෙන ඇති පියවර කවරේ ද? ප්‍රමිති සහගත විකල්ප වල් නාශක සහනදායී මිළ ගණන් යටතේ කුඩා තේ වතු හිමියන්ට ලබා දීමට රජය සතු වැඩපිළිවෙල කුමක් ද?
4. නව තාක්ෂණික දැනුම ප්‍රමාණවත් පරිදි වගා කරුවන්ට නොලැබීම, අධි තාක්ෂණික තේ වගාව, තේ දළු නෙලීමේ තාක්ෂණය, නව තාක්ෂණ යෙදවීම් භාවිතය සඳහා සාක්ෂරතාවයන් ඇතුළු තේ කර්මාන්තශාලා පවත්වා ගෙන යාමට මෙන්ම වැඩි දියුණු කිරීමට අත්‍යාවශ්‍ය දැනුම නොමැතිවීම, අමතර උපාංගවල හිඟය සහ විශේෂයෙන් ම ශ්‍රමික හිඟය තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ අනාගත පැවැත්ම අවිනිශ්චිත කොට ඇත. මෙම තත්ත්වය කළමනාකරණය සඳහා රජය මේ වනවිට ගෙන ඇති පියවර කවරේ ද?
5. තේ වගාව සඳහා යොදා ගත හැකි ඒ වෙනුවෙන් වෙන් කර තිබූ සහ තේ වගාවන් සිදුකර පසුව අතහැර දැමූ විශාල මුඩු ඉඩම් ප්‍රමාණයක් උඩරට, මැදරට හා පහතරට මහාපරිමාණ වතු ආශ්‍රිතව පවතී. මෙම ඉඩම් කඩිනමින් නැවත තේ වගාව සඳහා කුඩා තේ වතු වගා කරුවන්ට ලබා දීමට හෝ වෙනත් ක්‍රමවේදයක් යටතේ යොදා ගැනීමට රජය සතුව නිශ්චිත වැඩපිළිවෙලක් පවතී ද? ඒ කුමක් ද?
6. තේ කර්මාන්තය මත අයකරන සෙස් බද්ද මගින් යැපෙන කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, තේ මණ්ඩලය හා තේ පර්යේෂණ ආයතනය ප්‍රමාණවත් ලෙස තේ කර්මාන්තය පවත්වා ගෙන යාමට පහසුකම් නොසපයන බවට වාර්තා වේ. මෙම ආයතන කඩිනම් පරිපාලන ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කර තේ කර්මාන්තයේ පරිපාලනය, නිෂ්පාදනය හා අලෙවිය යම් තත්ත්වයකට පත් කිරීමේ වැඩපිළිවෙලක් රජය සතුවේ ද?
7. තේ කර්මාන්තය වෙනුවෙන් තම දහඩිය, ශ්‍රමය වගුරන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සහ කුඩා තේ වතු වගාකරුවන් වයෝවෘද්ධ වූ පසු උග්‍ර සමාජ, ආර්ථික ගැටලු වලට මුහුණ දෙනු ලබයි. මෙවන් වයෝවෘද්ධ තේ කර්මාන්තයේ නිරතවූවන් රැකබලා ගැනීමේ රක්ෂණ ක්‍රමයක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීමේ හැකියාවක් තිබේ ද? දැයි විපක්ෂනායකවරයා ප්‍රශ්ණ කර සිටි.