සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන ඇති අතර එම වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමට කටයුතු කරන්නැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදය පිළිබඳව නිළධාරින් සමඟ ඊයේ (26) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම නව සංචාරක ස්ථාන හඳුනාගෙන ඇත.
ගඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව,වයික්කාල, මීගමුව කලපුව ,කපුන්ගොඩ, ප්‍රීතිපුර,කොක්ගල කලපුව,සීතගල්ල,රැකව කලපුව,ලුනම කලපුව,මලාල ලේවාය,කිරින්ද,කුනුකලේ බීච්,එලිෆන්ට් රොක්,සලතිව් දූපත,තඹලගමුව බේ,ගවනර් ඔෆිස්,උප්පුවේලි,සම්පල්තිව් බීච්,අර්යමල්ල බීච්,නයාරු බීච්,නන්දිකඩාල් බීච්,සන්තකුලම් බීච් මෙලෙස අලුන් හඳුනාගෙන ඇති සංචාරක ස්ථානයන්වේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරින්ට උපදෙස් දුන්නේ සංචාරක අමාත්‍යංශය හා අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් එම ස්ථාන පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසන ලෙසයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙරට වෙරළ පරිසරය ආරක්ෂා කර ගනිමින් රට වටා පිහිටි වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමෙන් අප රට මුහුණදී සිටින ආර්ථික අර්බුද වලට විසඳුම් සොයාගත හැකි බවයි.
මෙරට වෙරළ තීරයේ ස්වාභාවික පිහිටීම අනුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, සුළං බල ව්‍යාපෘති, සූර්ය විදුලි උත්පාදන උද්‍යාන වැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සිදුකිරීමේ හැකියාවක් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි .
එබැවින් මෙරට මුහුදු වෙරළ ආශ්‍රිතව සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම වෙරළ ආශ්‍රිතව වෙනත් සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද අමාත්‍යවරයා එහිදී නිළධාරින්ට උපදෙස් දුන්නේය.
එවැනි ව්‍යාපෘති සදහා රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශයද ඒකාබද්ධ කරගනිමින් කඩිනම් ව්‍යාපෘති සකස් කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.
ආර්ථික සම්පත් බහුල මෙරට වෙරළ තීරය කිලෝමීටර 1620ක් දිගකින් යුතුවේ. එබැවින් මෙරට වෙරළ තීරය සංරක්ෂණය කරමින් වෙරළබඩ සම්පත් මත පදනම් වූ ආරක්ෂිත හා තිරසාර සංවර්ධනයක් කෙරෙහි කඩිනමින් අවධානය යොමුකළ යුතු බවද හෙතෙම අවධානය කරයි.
වෙරළ කලාපය හා ඒ ආශ්‍රිත සම්පත් අනාගත පරපුර සඳහා රැකගෙන දායාද කිරීමේ අරමුණින් පාරිසරික වැදගත්කමකින් යුතු ප්‍රදේශ සංරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කිරීමටද පියවරගෙන ඇත. ඒ අනුව දැනටමත් නැගෙනහිර ප්‍රදේශයේ පානම වැලි කඳුවැටියත්, පුත්තලම සැන්ඩිකාඩු වැලි කඳුවැටියත් සංරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් ප්‍රකාශයට පත්කිරීමටද පියවර ගෙන ඇත.
එමෙන්ම මෙම වසර අවසන්වීමට පෙර ආරුගම්බේ වෙරළ තීරයේ උල්ල වැලි වැටිය ආශ්‍රිත ප්‍රදේශය බලපෑමට ලක්වූ විශේෂ ප්‍රදේශයක් ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.
තවද 2020 ජනවාරි සිට 2021 වසරේ දෙසැම්බර් දක්වා වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 24ක් හා හදිසි වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 43ක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම වෙරළාරක්ෂක ව්‍යාපෘති මගින් කිලෝමීටර 10.7ක් වෙරළ තීරයක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබී ඇත.
එමෙන්ම මෙම වසරේදී වෙරළ ඛාදනය වැළැක්වීමට වෙරළාරක්ෂණ ව්‍යාපෘති 11ක් සහ වෙනත් වැඩ සටහන් 12ක් සැලසුම් කර තිබේ. ඉන් ව්‍යාපෘති 5ක වැඩ අවසන්කර ඇති අතර තවත් ව්‍යාපෘති 18ක් මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.
මේ වනවිටත් තලෛයිමන්නාර, තෝඩුවාව,පිටිපන,මොරටුව,කැලිඩෝ,අම්බලන්ගොඩ,මිරිස්ස, නින්දවූර් සහ තිරුක්කෝවිල් යන ප්‍රදේශවල දැනටමත් වෙරළ ආරක්ෂක ව්‍යාපෘති ක්‍රියාත්මකවේ. ඊට අමතරව ඉරණවිල, නින්දවූර්,බේරුවල,පයාගල,කාන්තන්කුඩි සහ සාම්පූර් යන ප්‍රදේශවල හදිසි වෙරළ ආරක්ෂක ව්‍යාපෘති 10ක පමණ වැඩ නිමකර ඇත.