මහජන මතය සමග සෙල්ලම් කරන්න ඉඩදෙන්නේ නොදෙන බවත් ව්‍යවස්ථානුකූල ලෙස, නීතිමය ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගන්නාවූ ක්‍රියාමාර්ග සියල්ලම පරාජය කරන්න ගතහැකි සෑම පියවරක්ම ගන්න බවට සහතික වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) ජාතික ජන බලවේගය මොනරාගල ජන රැලිය අමතමිනි.
එහීදි අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” අපේ රටේ තිබෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ රාජාණ්ඩු තිබුණා. සුද්දාගේ ආණ්ඩුකාරවරු සිටි යුගයක් තිබුණා. රාජාණ්ඩු ක්‍රමයේදී රජුගෙන් පසුව පෙළපතට බලය හිමි වුණා. යටත්විජිත යුගයේදී නම් එංගලන්තයේ මහ රැජින විසින් පාලනය කිරීම වෙනුවෙන් ආණ්ඩුකාරවරයෙක් නම් කළා. ඒ යුග පසුකර අපේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට පැමිණ තිබෙනවා. ඒ කියන්නේ ජනතාව විසින් ඡන්දෙ දීලා තමන්ගේ පාලකයා කවුද කියලා තෝරනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ මෙවැනි අවස්ථාවක් උල්ලංඝනය වුණු අවස්ථාවක් තිබෙනවා. 1977 මහ මැතිවරණයේදී එවකට තිබූ කේවල ඡන්ද ක්‍රමය අනුව ඡන්දෙ පවත්වලා ජේ.ආර්. ජයවර්ධන පාර්ලිමේන්තුවේ 5/6ක බලයක් හදා ගත්තා. ඒ අනුව පාර්ලිමේන්තුවේ කාලය අවසන් වුණාට පස්සේ මහ මැතිවරණයක් තියන්න ඕනෑ. නැවත ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසිය යුතුයි. ජේ.ආර්. ජයවර්ධන මහ මැතිවරණයක් පවත්වනවා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා. එහෙම ගෙනැවිත් ජයවර්ධන ප්‍රකාශ කළා මේ පාර්ලිමේන්තුව 1988 දක්වා වළංගු වෙන බව. නමුත් ජනතාව බලය දුන්නේ 1983 දක්වා. එසේ අවුරුදු පහකින් පැවැත්විය යුතු මහ මැතිවරණය 1988 දක්වා කාලය දීර්ඝ කළා. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියා “එහෙම දීර්ඝ කිරීමට ඔබට, පාර්ලිමේන්තුවට බලයක් නැහැ, එය ජනතාවගෙන් විමසිය යුතුයි.” කියලා. ඒ අනුව ජනමත විචාරණයක් පවත්වා ඡන්දෙ ඕනැද? එපාද? කියා ඇහුවා. ඒක ලංකා ඉතිහාසයේ කළු පැල්ලම් ඇතිවුණු ජනමත විචාරණය. ජේ.ආර්. ජයවර්ධන මැර කණ්ඩායම් දාලා, ඡන්ද පෙට්ටි උස්සලා, ඡන්ද පොළවල් ආක්‍රමණය කරලා, ජනතාවගේ මතය විකෘති කරලා ජනතාවට නව ජනවරමක් ලබාදීමේ අවස්ථාව අත්හැර දැමුවා. මොකක් වෙනුවෙන්ද? ජේ.ආර්. ජයවර්ධන තමන්ට අනීතික බලයක්, අයිති නැති බලයක් පාර්ලිමේන්තුවේ හදාගැනීම සඳහා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී නියත වශයෙන් එක්කෝ ජේ.ආර්. පරාදයි. එසේ නැතිනම් 5/6ක බලය අහිමි වෙනවා. 5/6 බලය නැති වුණා නම්, 1987 දී ඉන්දු-ලංකා ගිවිසුමක් ඇත්වෙන්නේ නැහැ. ඒකට පාර්ලිමේන්තුවේ 2/3 ගත්තේ අනීතික බලයකින්. එදා තමන්ගේ බලය සඳහා පෙරේත, කෑදරකම නිසාම ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගත්තා. ඒ ජනමත විචාරණය එනකොටත් උතුර නියෝජනය කරමින් සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 6වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වලා පාර්ලිමේන්තුවෙන් එළියට ගිහින් හිටියා. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බා නම්, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරේ ඡන්දෙ ඉල්ලනවා. ඡන්දෙ ඉල්ලුවා නම්, ඔවුන්ගේ නියෝජිතයන් ගණනාවක් පාර්ලිමේන්තුවට එනවා. පාර්ලිමේන්තුවට ආවා නම්, උතුරේ ජනතාවට තමන්ගේ මතය වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේ සටන් කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඉන්නවා. එදා ජේ.ආර්. ඡන්දයක් නොතැබීම නිසා සිදුවුණු දේ තමයි, උතුරේ ජනතාවට තමන්ගේ දුක්ගැනවිල්ල කියන්න අවස්ථාව අහිමි වී යාම. ඒ නිසා උතුරේ ජනතාව තමන්ගේ දුක, වේදනාව එල්.ටී.ටී.ඊ.ට කියන්න පටන් ගත්තා. ඡන්දය නොපැවැත්වීම නිසා සිදුවුණේ එල්.ටී.ටී.ඊ. කණ්ඩායමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් හැදීමයි. එහි ප්‍රතිවිපාක ලෙස අවුරුදු 30ක දිග්ගැස්සුණු යුද්ධයක් නිර්මාණය වුණා. උතුරෙත්, දකුණෙත් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා. මේ අම්මලා තාත්තලාගේ දරුවෝ යුද්දෙට ගිහින් මියගියා. දරුවෝ අහිමි අම්මලා, ස්වාමිවරු නැති බිරින්දෑවරු, තාත්තා නැති දරුවෝ බිහි වුණා. බිය, සැකය සමාජයම වෙලා ගත්තා. මහපොළොව කඳුළුවලින් තෙත් වුණා. ඇළදොළ ඟංගා පිරෙන තරම් ලේ කඳුළු ගලාගෙන ගියා. කුමක ප්‍රතිවිපාකයක්ද? නියමිත පරිදි ජනතාවට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමට නොදීමේ ප්‍රතිවිපාක තමයි. එදා ජේ.ආර්. ජයවර්ධන ජනමත විචාරණයේ ප්‍රතිඵල අහලා, තමන්ගේ යාළුවන් එක්ක ගජ මිතුරන් එක්ක සවුදිය පුරන්න ඇති. හැබැයි, රටේ ජනතාව ගිලටීනයකට තල්ලු කළා. මේක තමයි ඡන්ද නොපැවැත්වීමේ ඉතිහාසය.
ඒ ජනමත විචාරණයට පෙර ජනාධිපතිවරණයක් තිබුණා. ඒ ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ අපි තරග වැදුණා. අපි ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තා. අනතුරුව මහා මැතිවරණය ආවා නම්, ඒ මහා මැතිවරණයටත් ජනතා විමුක්ති පෙරමුණ තරග වදිනවා. එහෙම තරග වැදුණා නම් ලංකා ඉතිහාසයේ පළමු වරට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් 1983 මහා මැතිවරණයේ ප්‍රතිඵල මත පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එහෙම වුණා නම් 88 – 89ක් නිර්මාණය වන්නේ නැහැ. අදත් අපි අතර ජීවත්විය යුතු බොහෝ අය ජීවත් වෙනවා. අපේ සොයුරන්, ඥාතීන් බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. ඒකේ ප්‍රතිවිපාක මොකක්ද? මේ රටට ආදරය කරන, ජනතාවට අසීමිත ලෙස ප්‍රේම කළ දස දහස් ගණනක් බිලි අරගෙන තමයි ජේ.ආර්. ජයවර්ධනගේ කුරිරු පිපාසය නිම වුණේ. දැන් නැවතත් ජේ.ආර්.ගේ බෑනා රනිල් වික්‍රමසිංහ ඒ මාර්ගය අනුගමනය කරමින් ඉන්නවා. ලංකා දේශපාලනයේ කුරිරු කළු දින ගොඩක් තිබෙනවා. 83 සංවර්ධන සභා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදයේ කළු දිනයක්. යාපනයට ගිහින් යාපනයේ පුස්තකාලය ගිනි තියලා, යාපන සංවර්ධන සභා දිනන්න ජේ.ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක, ගාමිණී ලොකුගේ, ගාමිණී ජයසූරියලා එදා කටයුතු කළා. ඒක මැතිවරණ ඉතිහාසයේ කළු දිනයක්. ඒ වගේම ජනමත විචාරණය අපේ රටේ දේශපාලන ඉතිහාසයේ කළු දිනයක්. ජනාධිපතිවරණය කළු දිනයක්. හැබැයි ඒ සෑම දිනයකම මොකක් හෝ ඡන්දයක් තිබ්බා. අද ඡන්දයක් නොතියාම ඡන්ද කල්දැමීම සඳහා රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් ඉන්නවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන අය, සුරක්ෂිත, සාමකාමී අනාගතයක් අපේක්ෂා කරන අය, ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අවම හෝ විශ්වාසයක් ඇති අය රනිල් වික්‍රමසිංහගේ මේ කුරිරු වුවමනාව පරාජයට පත්කිරීම සඳහා බලමුළු ගැන්විය යුතුයි. ජේ.ආර්. ජයවර්ධනට 1977 විධායක ජනාධිපතිකම හම්බවුණේ නැහැ. ජේ.ආර්. පළවෙනි වතාවට ජනාධිපති වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන්. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා විධායක ජනාධිපති ක්‍රමය ඇතිකර ගත්තා. පාර්ලිමේන්තුවේ 5/6 බලයෙන් ඒක සම්මත කරගත්තා. ජේ.ආර්. ජයවර්ධන එදා ජනතා කැමැත්තෙන් විධායක ජනාධිපති ධුරයට පත්කර ගත්ත කෙනෙක් නොවෙයි. ඒ වගේම එයාගේ බෑනා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ඉන්නේත් ඡන්දෙන් නොවෙයි; ව්‍යවස්ථාවෙන්, පාර්ලිමේන්තුවේ 134ක ඡන්දෙන්. ජනතාවගෙන් ඡන්ද ගන්න බැරි, අඩුම ගණනේ පාර්ලිමේන්තුවටවත් එන්න ජනතාව කැමැත්ත දුන්නේ නැති නායකයෙක් රටේ ඉන්නවා. පාර්ලිමේන්තුවේ වංචනික හා අපරාධකරුවන් රැලක් ඉන්නවා. ඒ දූෂිතයන්ට විරුද්ධව ජනතාව නැගිට්ටා. ඔවුන්ව පළවා හැරියා. ඒක ලංකා ඉතිහාසයේ ඉතා ශ්‍රේෂ්ඨතම නැගිටීමක්. ජනතාවට අපරාධ කරපු, ජනතාවගේ ධනය හොරකම් කරපු, ජනතාව ගැන සැලකිල්ලට නොගෙන ජනතාව විනාශ කරන තීන්දු තීරණ ගත්ත අය රටේ ජනතාව එකතු වෙලා පළවා හැරියා. ජනතාවගෙන් නැගෙමින් තිබුණු කෝපයට, විරෝධයට ආරක්ෂකයා හැටියට ඔවුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත්තා. රනිල් වික්‍රමසිංහ ජනතාවගේ ආරක්ෂකයා නොවෙයි. රනිල් වික්‍රමසිංහ, මහින්දගේ, ගෝඨාභයගේ, බැසිල්ගේ ආරක්ෂකයා. රනිල් වික්‍රමසිංහ, ජනතාවගේ දුක, වේදනාව ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූ නායකයෙක් නොවෙයි. ජනතාව ගෝඨාභය පළවා හැරියා. රනිල් වික්‍රමසිංහව පුටුවේ වාඩිකර ගත්තා. ගෝඨාභය, රට රටවල ගිහින් ආපහු ආවා. කොළඹින් ගෙයක් දුන්නා. වාහන ආණ්ඩුවෙන්, ආරක්ෂාව, ලයිට් බිල, වතුර බිල ආණ්ඩුවෙන්, රනිල් වික්‍රමසිංහ ගෝඨාභයගේ ආරක්ෂකයා. ජනතාව ආරක්ෂා කරන්න ආ කෙනෙක් නොවෙයි. දැන් ජනතාවගේ ජන මතයට බයයි. ඉතිහාසයේ මැතිවරණ කොමිසම මැතිවරණ දිනය ප්‍රකාශ කළාම සැකයක් තිබුණේ නැහැ. දැන් ඡන්දෙ තියයිද නැද්ද කියා දෙගිඩියාවෙන් ඉන්නවා. මේ මාර්තු මාසෙ 09 වැනිදා කියන්නේ ලංකා දේශපාලනයේ සිදුවෙන විශේෂිතම හැරවුම් දිනය. අපි ජනතාව අමතලා තියෙනවා, ඒත් මේ තරම් ජනතාවගේ කැමැත්තක්, ආශ්වාදයක්, නැගිටීමක්, අපේක්ෂාවක් අපි දැක්කේ නැහැ. මේ ජනතාව කියන්නේ මොකක්ද?. පැරණි දේශපාලනයෙන්, වංචනිකයන්, දූෂිතයන් කළ පාලනයෙන්, මිදෙන්න තිබෙන සූදානම. සියලු සමීක්ෂණ වාර්තාවල තිබෙන්නේ මාලිමාව උඩින්. ඊට පස්සේ යටි කුමන්ත්‍රණ කරන්න සූදානම් වුණා. මේ රටේ පමණක් නොවෙයි විදෙස් රටවල ජීවත් වෙන ලංකාවේ ජනතාවත් මේ දූෂිත පාලකයන් පළවා හරින්න තෝරා ගත්තේ මාලිමාව. සමාජ මාධ්‍ය ජාලාවල, බුද්ධි අංශ වාර්තාවල, ස්වාධීන නිරීක්ෂණ වාර්තාවල උඩින්ම ඉන්නේ මාලිමාව. මේකට බය කණ්ඩායමක් ඉන්නවා. ඒ දූෂිතයන්, මේ රටේ මහජනතාව ගැන සැලකිල්ලක් නැතිව මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කර ගත් අපරාධකාරයන්, කුඩු ව්‍යාපාරිකයන්, බයයි. පාර්ලිමේන්තුවේ නීති, විවිධ අනපනත්, ගෙනත් ඡන්ද කල්දැමීමට උත්සාහ ගත්තා. ජේ.ආර්.ගේ පාර්ලිමේන්තුවේ අපි හිටියේ නැහැ. නමුත් මේ පාර්ලිමේන්තුවේ අපි ඉන්නවා, අපි ඒ වැඩේ පරාජය කළා. ඊළඟට අධිකරණයට ගියා. අධිකරණයේ නඩු දෙකක් තියෙනවා. ඡන්දය පවත්වන්න කියන නඩුව හා ඡන්දෙ තියන්න එපා කියන නඩුව. පසුගිය 10 වැනිදා ඡන්දෙ තියන්න කියන නඩුව ගත්තා. එදා මැතිවරණ කොමිසම එකඟතාවයකට ආවා මැතිවරණය නිසි පරිදි පවත්වන බවට. කර්නල්ගෙ ඡන්දෙ තියන්න එපා කියන දෙවන නඩුව ආවා. ඔහුට ඡන්දෙ තියෙනවාද යන්න ඔප්පු කර ගන්න බැරි වුණා. වගඋත්තරකරුවෙක් නැත. ඡන්දදායකයෝ එක්කෝටි හැත්තෑලක්ෂයක් පමණ සියල්ලන්ම වගඋත්තරකරුවන්. නඩුව 23ට කල් දැමුවා. ආපහු නඩුව ගොනුකරන්න කිවුවා. ඊයේ ජනාධිපති මුද්‍රණාලාධිපතිනිය කැඳවා ඡන්ද පත්‍රිකා අච්චු ගැසීම නැවැත්වුවා. භාණ්ඩාගාරයේ ලේකම්, සිරිවර්ධන කැඳෙව්වා. සල්ලි දෙන්න එපා කීවා. මේ වේදිකාවේ සිට අපි මුද්‍රණාලාධිපතිනියට, භාණ්ඩාගාරයේ ලේකම්ට අපි කියන්නේ තමන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳව හිතාමතා ඡන්දෙ වැළැක්වීම සඳහා බාධා කළොත් නඩු අහලා අවුරුදු තුනක් හිරේ. කවුරු මේ නඩු ඇහුවේ නැතත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ නඩු අහනවා. මේ අය කළ යුත්තේ ජනාධිපතිගේ කාර්යයන් නොවෙයි; ජනතාවගේ වගකීම්. මුද්‍රණාලයාධිපතිනියට, මහ බැංකුවේ ලේකම්ට පඩි ගෙවන්නේ, ගෙවල් දෙන්නේ මහජන මුදලින්. එහෙනම් මහජනයාගේ කාර්යයන් කරන්න ඕනෑ. සල්ලි නෑ. තියෙන සල්ලිවලින් ප්‍රමුඛතාවයට මුල් තැන දෙන්න ඕනෑ. ප්‍රමුඛතාවයක් තමයි පඩි ගෙවන එක, ඡන්දෙ තියෙන එක. මහජනයාගේ ජන මතය කියන්නේ ප්‍රමුඛතාවයක්. භාණ්ඩාගාරය හැමදාම හිස්. ඒක යන්නෙ බැංකු අයිරාවෙන්. ඒ කියන්නේ ගිණුමේ සල්ලි නැතිව බැංකුව වියදම් කර තිබෙනවා. භාණ්ඩාගාරයේ ලේකම් ප්‍රමුඛතාවයට මුල් තැන දී කටයුතු නොකරන්නේ නම්, ඔබ අධිකරණය ඉදිරියේ වගඋත්තරකරුවෙක් බවට පත්කරන බව සහතික කරනවා. මහජන මතය සමග සෙල්ලම් කරන්න ඉඩදෙන්නේ නැහැ. ව්‍යවස්ථානුකූල ලෙස, නීතිමය ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගන්නාවූ ක්‍රියාමාර්ග සියල්ලම පරාජය කරන්න ගතහැකි සෑම පියවරක්ම අපි ගන්න බවට සහතික වෙනවා. යැයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් පැවසිය.