රටේ ජාතිවාදය පරාජය කර, ජාතික සමඟිය ඇති කල යුතු බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (04) යාපනයේ පැවැති ලංකා ගුරු සේවා සංගමයේ පළාත් සමුළුව අමතමිනි.
එහිදී අනුර දිසානායක මහතා පැවසුවේ උතුරේ, දකුණේ, නැගෙනහිර සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් නිර්මාණය කල යුතු බවයි.
සමුළුව අමතමින් අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “ අපි මේ ජාතිවාදී දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතුයි, ඒ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන්. අපි උතුරේ ඇත්ත දේශපාලන නායකයන්ට කියන්නේ, ඔබ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සැබවින්ම කල්පනා කරනවා නම්, අපි එකතු වෙන්න ඕනෑ. අපි උතුරේ නායකයන්ට ආරාධනා කරනවා උතුරේ දේශපාලන ප්‍රශ්නය විසඳීමේ දේශපාලනය බවට පත්කර ගනිමු. අපි එක්වෙලා එක ආණ්ඩුවක් හදමු. අපි අලුතින් හිතමු. අපි එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්නවලට සංවේදී නොවෙන්න පුළුවන්. ඒත් අපිට දැනෙනවා ඔබගේ වේදනාව. අපි හදන්න ඕන අලුත් රටක්. අපේ රටේ ප්‍රධාන භාෂාවන් දෙකක් තිබෙනවා. ඒ භාෂාවන් දෙකටම සම අයිතිය තිබෙනවා. රාජ්‍යයත් එක්ක තමන්ගේ භාෂාවෙන් ගනුදෙනු කිරීමේ අයිතිය තිබෙනවා. දෙමළ පුරවැසියෙකුට, පොලීසියට ගොස් තමන්ගේ භාෂාවෙන් පැමිණිල්ලක් කිරීමේ අයිතිය තිබෙනවා. රජයට තමන්ගේ භාෂාවෙන් ලිපියක් යවනවා නම්, තමන්ගේ භාෂාවෙන් පිළිතුරු ලැබිය යුතුයි. ඒ නිසා රාජ්‍ය ආයතනවලට, ත්‍රිවිධ හමුදාවන්ට, රාජ්‍යයේ වැදගත් ක්ෂේත්‍රයන්ට දෙමළ තරුණ තරුණියන්ගේ අනුපාතය වැඩි කළ යුතුයි කියා අපි සිතනවා. ආගමත් එහෙමයි. ආගම යනු තමන්ගේ විශ්වාසය. ඔබ ඉපදෙන්නේ හින්දු, දෙමළ පරිසරයේ. ඔබගේ ආගම, ඔබගේ සංස්කෘතිය හින්දු-දෙමළ සංස්කෘතියක් වෙනවා. මා ඉපදෙන්නේ සිංහල, බෞද්ධ පරිසරයක. මගේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි. ඒ නිසා ඔබගේ විශ්වාසය පහත්කොට මගේ විශ්වාසය උසස් කොට සැලකිය හැකිද? සෑම කෙනාටම තමන්ගේ ආගම ඇදහීමේ, ආරක්ෂා කරගැනීමේ අයිතිය තහවුරු වෙන රාජ්‍යයක් අපේ රටේ බිහිවිය යුතුයි. ඓතිහාසික පුරාවස්තු සොයා ගන්නකොට, අපි රණ්ඩු පටන් ගන්නවා. අපේ වගකීම මොකක්ද? එම පුරාවස්තු ජාතික උරුමයන්සේ සලකා, ආරක්ෂා කොට, සංරක්ෂණය කොට, අනාගත පරම්පරාව වෙනුවෙන් සුරැකීම තමයි අපේ වගකිම. ඓතිහාසික ස්ථාන මතුවීම අපි ගහගන්න ඕන දෙයක්ද? අපේ එකිනෙකාගේ සංස්කෘතික වෙනස්කම් තිබෙනවා. ඔබගේ ප්‍රධාන උත්සවය තෛපොංගල්, මුස්ලිම් ජනතාවගේ ප්‍රධාන උත්සවය රාමසාන්, සිංහල ජනතාවගේ ප්‍රධාන උත්සවය වෙසක් උත්සවය. කතෝලික ජනතාවගේ ප්‍රධාන උත්සවය නත්තල්. ඒ අපේ සංස්කෘතික අනන්‍යතාවයන්. අපි සමාජයක් ගොඩනඟන්න ඕනෙ කොතෙන්ටද? එක් සංස්කෘතියක් බැහැර කරන, අනෙක් සංස්කෘතිය උසස් කියන සමාජයකටද? අනෙකාගේ සංස්කෘතීන්වලට ගරුකරන, පිළිගන්න නව පරම්පරාවක් අපට අවශ්‍ය නැද්ද? ඒ පරම්පරාව ගොඩනැගීමේ අවශ්‍යතාවය අපට තිබෙනවා. මේ පැරණි, ජාතිවාදී, ගෝත්‍රිකවාදී ඒවා සියල්ල අයිති පැරණි සමාජයට. ජාතිවාදය, ආගම්වාදය, ප්‍රතික්ෂේප කරන, එකිනෙකාගේ අනන්‍යතාවයන්ට ගරු කරන, නව සමාජයක් අපේ රටට අවශ්‍යයි. ඒ නිසා අපි හැමදෙනාම පැරණි ඇඳුම් ගලවා දමා නව ඇඳුම් ඇඳගැනීමේ කාලය උදාවී තිබෙනවා. අපි පැරණි යක්ෂයාගේ පැරණි ලෝගුවේම ඉන්නවාද? වෛරය, ක්‍රෝධය, ලේ, ගැටුම්, වෙඩි උණ්ඩ, වෙඩි බෙහෙත් සුවඳ පැතිරුණු ලෝගුව ඇඳගෙන අනාගතයට යනවාද? එය ගලවා දමා ජාතික සමගියේ නව ඇඳුම ඇඳගෙන ඉදිරියට යනවාද? අපි ඔබට ආරාධනා කරන්නේ අන්න ඒ වෙනුවෙන් සාමූහික ප්‍රයත්නයක් දරමු කියලයි.
අපි ගනුදෙනු කරුවෝද? මා වෙළෙන්දෙක් නොවෙයි. ගනදෙනුකරුවෙක් නොවෙයි. මා ඇතුළු අපේ ව්‍යාපාරය යෝජනා කරන්නේ මේ රට ගොඩගන්න අපි සාමූහික ප්‍රයත්නයක් දරමු කියලයි. අපේ අනාගත දරුවෝ යුද්ධ කරන්නේ නැති රටක් අපිට අවශ්‍යයි. අපේ අනාගත පරම්පරාවට මේ රට ගොඩනගමින් ජීවත් වෙන්න හොඳ ආර්ථිකයක් අවශ්‍යයි. අපිට නව දේශපාලනයක් අවශ්‍යයි. අපි යෝජනා කරන්නේ, අන්න ඒ නව දේශපාලනය වෙනුවෙන් එකතු වෙමු කියලයි. අපිට ඡන්දෙ දෙන්න කියලා මම ඔබට කියන්නේ නැහැ. මම යෝජනා කරන්නේ අපි එකතු වෙලා සාමූහික ප්‍රයත්නයක් දරමු කියලයි. ආර්ථිකය ගමන් කරමින් තිබෙන දිසාව හොඳද? නීතියේ විධානයේ ආධිපත්‍යය හොඳද? අපේ අධ්‍යාපනය හොඳද? අපේ ගොවි ජනතාවගේ ජීවිතය, ධීවර ජනතාවගේ ජීවිතය ගැන බලාපොරොත්තු තැබිය හැකිද? අපේ දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසය තැබිය හැකිද? ඒ කිසිවක් නැති, රාජ්‍යයක් මේක.
මේ සියලු ප්‍රශ්න අපේ රටේ දේශපාලන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද ප්‍රශ්න. අර්බුදයේ හේතුව දේශපාලනය නම්, විසඳුම තිබෙන්නෙත් දේශපාලනයෙන්. අපේ රටේ ජාතිවාදය දේශපාලන ජාතිවාදයක්. තම තමන්ගේ පැවැත්ම හා බලය ජාතිවාදය මත පැවැත්ම සකස් කර තිබෙන දේශපාලනයක්. මෙය වෙනස් කළ හැකි වන්නේ කෙසේද? ජාතිවාදී දේශපාලනයට එරෙහිව ජාතික සමගිය දේශපාලනය අතට ගැනීමෙන් විතරයි. අපට ආඩම්බරයක් තිබෙනවා දකුණේ බහුතරය ජාතිවාදයට එරෙහි කොඩිය අතට අරගෙන තිබෙනවා. උතුරේ ඔබට ආරාධනා කරන්නේ ජාතිවාදී කණ්ඩායම් ඉන්නවා නම්, ජාතිවාදයට එරෙහිව ජාතික සමගියේ සටන ඉදිරියට ගනිමු. මේක අපේ පරම්පරාවේ වගකීමයි.
ඒ වගේම මේ රට ගොඩනැගීමට ආර්ථිකයේ විශාල පරිවර්තනයක් අවශ්‍යයි. අපට ඉතිහාසයේ කාර්මීකරණය පිළිබඳ යම් දැක්මක් තිබුණා. ඒ සියල්ල විනාශ වුණා. පරන්තන්වල රසායනික කම්හලක් තිබුණා. වාලච්චේනේ කඩදාසි කම්හලක්, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලක් තිබුණා. අද ඒ කාර්මීකරණය කෝ. උතුරේ කුඩා ගම්මානවල රෙදිවිවීමේ මධ්‍යස්ථාන තිබුණා. සියලු ආයතන විකුණා දැමුවා. නැතිනම් වසා දැමුවා. මුළුමනින්ම ජාතික ආර්ථිකයේ කොන්ද විනාශකර දැමුවා. යාපනයේ සැර මිරිස්, මුරුංගා, රතු ළුෑණු අපේ ගමේ පොළට ආවා. අද සියල්ල විනාශ වෙලා. මේ දේශපාලන අධිකාරියට අපේ ජාතික නිෂ්පාදන ඉස්සරහට ගෙනියන්න සැලැස්මක් තිබුණේ නැහැ. උතුරු පළාතේ හොඳ කිරි නිෂ්පාදනයක් තිබුණා. අද කිසිවක් නිෂ්පාදනය කර ගන්න බැරි රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා.
නිදහස ලබා ගත්තාට පස්සේ, ඉන්දියාවේ ජාතික නායකයන්ට රට කුමන දිසායට ගෙන යා යුතුදැයි දැක්මක් තිබුණා. ඉන්දියානු දැක්ම ඔවුන් විසින් ගොඩනඟන අනාගතය අද ජයග්‍රහණ අත්පත් කරගනිමින් තිබෙනවා. හඳට යන ඉන්දියාවක්, කලාපයට වාහන, බෙහෙත්, ආහාර, තාක්ෂණය බෙදන ඉන්දියාවක් නිර්මාණය වුණේ කොහොමද? ඒ ඉන්දියාවේ අබ්දුල් කලාම්ට ජනාධිපතිවරයෙක් වෙන්න, මන්මෝහංසිංහට අග්‍රාමාත්‍යවරයෙක් වෙන්න, කුලහීන යැයි සමිමත කාන්තාවකට ජනාධිපති ධුරය හොබවන්න පුළුවන්කම තිබෙනවා. විවිධ ජාතීන් සිටින, විවිධ ආගමික ඇදහීම් තිබෙන විවිධ සංස්කෘතීන් තිබෙන රට එක කොඩියක් යටතට ගෙනඒමට පුළුවන්කම ලැබිල තිබෙනවා. අපේ ඉතිහාසය ගැටුම්වලින් පිරුණු ඉතිහාසයක්. අලුත් දේශපාලන පරිවර්තනයක් පටන් ගනිමු. උතුරේ දෙමළ ජාතික නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපි එකතු වෙමු. උතුරේ ජනයා, නැගෙනහිර ජනයා, දකුණේ ජනයා සියලු දෙනා නියෝජනය කරන ආණ්ඩුවක් හදමු. ඒ සඳහා සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපි මේ පටන් ගන්නා ලද කුඩා පියවර අපේ රට විශාල ජයග්‍රහණයකින් කෙළවර කළ හැකියි කියා අපි විශ්වාස කරනවා යැයි මන්ත්‍රී අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.