ආලෝකයත් අන්ධන්කරයත් සමඟ වසර සියවස් ගණනක් පුරා පහන් එළියෙන් දෑගිලි රැලි අරින කදුකරයේ මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය, “සිලෝන් ටී” නමින් ශ්‍රී ලංකාව නම් වූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෝකයේ සන්නාම ගත කළේය.ඝන මිහිදුම් දහරාවන් ඈත මෑත පතිතවන, නිලබර පෙනෙන නොපෙන සෑම දිනයකම පාහේ කදුකර සිත වෙව්ලුම් කන කය සෘජු කරගන්නට වෙහෙසෙන මිනිසුන්ගේ දෑගිලි කිටි කිටියේ වැඩ කළහ. වතුකරය කියූ සැනින් සිත ඇදීයන, නීල හරිත කඳුකර තේ යායේ අසිරිය මේ මිනිසුන්ගේ කායික ශක්තිය මත පදනම්ව සියවස් ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සන්නාමයක් බවට පත් කළේය. වැහි කෝඩයේ සති අන්තයේ සුදු පැහැති ජනෙල් පියන්පත් විවර කර කෝපි කෝප්පයක නැවුම් සුවඳ අග්‍රහණය කිරීමේදී, මේ හමන්නේ වතු මිනිසුන්ගේ සිනාවේ සාරය එය නොවේ දැයි හදවත ගත කීරි ගසමින් අසනවා මින් ඉදිරියට ඔබට දැනෙනු ඇත.
කන්දට කඩා හැලෙන වරුසාව තැන්නේදී දොරේ ගලා, ගම් නියම ගම් සෝදා පාළු කොට මහා මුහුදට ඇදී යන්නේය. කන්දට අවුරුද්දේ දෙවන මහා වැස්ස පතිත වීම දැන් ඇරඹි ඇත. මේ මෝසමට වඩා තවත් ඛේදවාචකයක් අත ළඟම පෙනෙන්නට තිබේ. එය නාය යාමකින් අවසන් වන්නේ නැත. එය ජාතියක් ලෙස නැවතත් අර්බුදයක් නිර්මාණය කරනු ඇති බව අපගේ හැගීමයි.
නිරිත දිග මෝසම ඇරඹෙන වෙසක් මස මුල් දිනම, මේ ගංවතුරේ අකුණු සැරය කොළඹින් ආලෝකවත් විය. ඒ ආලෝකය බලාපොරොත්තුවක් වී නැවතත් කදුකරයටත් තැන්නටත් ගලා ගියේය. ඒ වෙන යම් බලාපොරොත්තුවක් නොව වතු සේවකයන්ගේ දෛනික වැටුප් වැඩි වීම පිළිබඳ බලාපොරොත්තුවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැයි දිනයේ දී වතු සේවක දෛනික වැටුප රු 1000 සේ සිට 1700ක් දක්වා වැඩි කල යුතු බව ප්‍රකාශ කළේය. එනයින්ම, වතු සේවකයින්ගේ හදවත් ආලෝකවත් වුයේ නැත. මන්ද මේ වැටුප් පොරොන්දුව හුදු දේශපාලන ප්‍රලාපයක් ලෙස මින් පෙර ද මැතිවරණ වේදිකාවල නිතර නිතර ඇසෙන නිසාය. සියවස් ගණනක් පුරා වතු සේවකයින්ගේ වටිනාකම පිළිබඳ ගැටලුව පූර්ව මැතිවරණ සමයේ දී ඉහළ යන අතර මැතිවරණයෙන් අනතුරුව පහල යන්නේය.
පුර්ව මැතිවරණ සමයේ ආණ්ඩුව වතු සමාගම් වලට වතු සේවක වැටුප් වැඩි කරන්න යැයි කියති. නමුත් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් හෝ සැලැස්මක් ඉදිරිපත් නොකරති. එම නිසා එය කර ගත නොහි ඔවුන් නිහඬව සිටී. මැතිවරණ ජය ගත් පසු ආණ්ඩු ද නිහඩ වෙති. නමුත් මෙදා පොටේ තත්වය ආණ්ඩුව තදටම සිටින සෙයකි. ජනපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු ආණ්ඩුවේ ඇමතිවරු මෙම නාට්ටියේ බර කරට ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත. ඔවුන් පවසන්නේ සේවක වැටුප් වැඩි නොකරන්නේ නම් ආණ්ඩුව වතු සමාගම වලට අයත් වතු රජයට පවරා ගන්නා බවයි. එය සුළු පටු කාරණයක් ද නොවේ. ආණ්ඩුව පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට අර අදිමින් සිටින සමයක මේ කියන අපබ්‍රන්සය කුමක්ද යන්න අප තේරුම් ගත යුතුව ඇත.
වතු යනු, තේ වතු පමණක් ම නොවේ. ලංකාවේ තේ, පොල්, රබර්, කුරුඳු, ඔයිල් පාම් ප්‍රධාන කරගත් අපනයන භෝග රැසක් වතු කර්මාන්තය යටතට ගැනේ. රජයේ ඉඩම් සමාගම් විසින් දිගු කාලින බද්දට ගෙන භෝග විවිධංගීකරණය කරමින් මෙරටට අදායම් උපයන අතර එමගින් මීට සියවස් කිහිපයකට ඉහත ඉන්දියාවෙන් මෙරටට පැමිණි වතු කම්කරුවන් ඇතුළු වර්තමානයේ ශ්‍රී ලංකික වතු කම්කරු ප්‍රජාවද සිය ජිවිත ගැට ගසා ගනිති. මෙතෙක් කල් වතු කර්මාන්තයේ පැවැත්ම නිසා ඔවුන්ගේ ජීවනෝපාය රැකුණා මිස රජය විසින් සමෘද්ධිය හැර ඔවුන්ගේ ජිවන තත්වය වඩා උසස් මට්ටමට ගෙන ඒමට ක්‍රියා කොට ඇති බවක් පෙනෙන්නට නැත.
මෙවන් තත්වයක් යටතේ එක රැයින් ගහෙන් ගෙඩි එන්නා සේ 70%කින් වැටුප් වැඩි කිරීමට යාමෙන් ඔවුන්ගේ එකම ජීවනෝපාය නැත්තටම නැති වී යාමේ අවදානම අපට පෙනෙන්නේය. ඒ කෙසේද යත්, මෙම වැටුප් වැඩි කිරීමේ තීරණය මින් ඉහත රජයන් ගන්නා ලද කාබනික පොහොර ප්‍රතිපත්තිය මෙන් එක රැයින් ක්‍රියාත්මක කිරීමට ගොස් රටම අර්බුදයකට ගෙන යාමේ ඛේදවාචකයයි. වතු සේවක වැටුප ඉහල නැංවිය යුතු බව අවිවාදිතව සෑම ශ්‍රී ලාංකිකයෙකුම පිළිගත යුතුය. නමුත් එය දේශපාලන ඔනෑ එපාකම් ඉටු කර ගැනීමේ බිල්ලක් නොවිය යුතුය.
ප්‍රථමයෙන්ම මේ කර්මාන්තය පිළිබඳව අධ්‍යයනයක් සිදු කර ආර්ථික හැකියාවන් හා දුර්වලතාවයන් හදුනා ගත යුතුය. ඕනෑම පුද්ගලයෙකුට යම් ක්ෂේත්‍රයක වැටුප් ගෙවනු ලබන්නේ ඵලදායිතාවය මතය. එය වතු කර්මාන්තයට ද අදාළ වන්නේය. එසේම කර්මාන්තයේ සෑම අංශයක් කෙරෙහිම මෙමගින් ඇතිවන බලපෑම පිළිබඳව අධ්‍යයනය කළ යුතුය. කර්මාන්තයේ හැකියාවන් හා ධාරිතාවයන් අනුව සේවකයින්ගේ ජිවන තත්ත්වය වඩාත් උසස් කිරීම සඳහා මෘදු සැලසුම් සහගත කඩිනම් ක්‍රමවේදයක් සකස් කල යුතුය. නමුත් දැන් සිදු වන්නේ සේවකයාත්, සමාගමත් දෙකම බිමට සමතලා කරන ගණයේ පිළිවෙතකි. මේ සඳහා වතු සමාගම් හා රජය ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කල යුතුය. එමගින් සේවකයාටත් කර්මන්තයටත්, සමාගම් සඳහාත් සෘණාත්මක බලපෑමක් ඇති නොවන එකඟතාවයන්ට පැමිණ රජය විසින් එම සැලසුම් ක්‍රියාත්මක කරවීම සඳහා මාර්ගෝපදේශ හා නීතිමය පිළියම් යෙදිය යුතුය.
වතු සේවක වැටුප යනු, කන්ද උඩරට මහා පරිමාණ සමාගම් සඳහා පමණක් නොව පහතරට මෙන්ම කුඩා පරිමාණ ඉඩම් හිමියන්ට ද ඉතාමත් සංවේදීව බලපාන සංකීර්ණ ගැටලුවකි. එක අංශයක් දෙස බලාගන්නා ක්ෂණික තීරණ හේතුවෙන් රටක් සමතලා විය හැක්කේ මේ නිසාය. වර්තමාන ජිවන වියදම යටතේ වතු සේවකයින්ගේ වැටුප ඉහල නැංවීම අනිවාර්ය කාර්යයක් වන අතර එය කර්මාන්තය බිම හෙලන සාපරාධි ක්‍රියාවක් නොවිය යුතුය. මන්ද කර්මාන්තයට දැරිය නොහැකි සේ වැටුප් ගෙවීමට සිදු වන්නේ නම් එය තවකාලික පිලියමක් පමණක් වනු ඇති අතර කෙටි කාලයකින් සමස්ත කර්මන්තය කඩා වැටීම හේතුවෙන් සේවකයින්ට ලැබුණු වැටුප හිමි නොවීමේ අවදානම වැලැක්වීමට රජය විසින් පියවර ගත යුතුය.
තේ කර්මාන්තය ආශ්‍රයෙන් කබලෙන් ලිපට වැටීමේ අවදානම මෙසේ පැහැදිලි කර ගමු.
දැනට රජයේ යෝජනාව වෙනස රුපියල් %පරතරය
මූලික දෛනික වැටුප 1,000.00 1,350.00 350.00 35%
දීමනාව N/A 350.00 350.00 100%
එකතුව 1,000.00 1,700.00 700.00 70%
EPF/ETF 150.00 203.00 53.00 35%
RPC කිලෝවක් සඳහා පිරිවැය 1,150.00 1,903.00 753.00 65%
මාසිකව මුළු ඉපැයීම 25,000 42,500 17,500 70%
නිෂ්පාදන පිරිවැය 993 1,443 450 45%
තේ කර්මාන්තය සඳහා පමණක් මෙවැනි සැලකිය යුතු වැටුප් වැඩිවීමක්, ජයගත නොහැකි අභියෝග නිර්මාණය කරන බව මෙමගින් පෙනී යයි.
කිලෝවක් සඳහා 45% ක වැඩිවීමක් පෙන්නුම් කරන නිෂ්පාදන පිරිවැය (COP) රු. 993 සිට කිලෝවකට 1,443 දක්වා ඉහල යනු ඇත. වත්මන් සාමාන්‍ය විකුණුම් සාමාන්‍යය (GAS) අනුව එවැනි වැඩිවීමක් ශ්‍රී ලංකාවේ තේ වල නිෂ්පාදන වියදම තිරසාර මට්ටම්වලින් ඔබ්බට ගෙන යනු ඇත.
එසේම 70% ක වැටුප් වැඩිවීමක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් පමණක් නොව, ඵලදායිතාවයේ හෝ වෙළඳපල ගැලපීම්වල පූර්ව වර්ධනයකින් තොරව කිසිදු ගෝලීය කර්මාන්තයක් පවා එවැනි තීන්දු ගෙන ඇති බවක් දැන ගන්නට නැත. එපමණක් නොව මෙම දත්ත පිරිස්සිමේ දී වතු සමාගම් මත පමණක් අතිරේක EPF/ETF සහ පාරිතෝෂික බර අතිවිශාල වාර්ෂික පිරිවැයක් බවට පත් කරමින්, රුපියල් බිලියන 35 පමණ වනු ඇත
මෙම ආර්ථික කම්පනය කර්මාන්තයේ තිරසාරභාවය පිළිබඳ මූලික උදාහරණයක් පමණක් වන අතර මෙය තවත් බරපතල වන්නේ කුඩා තේ වතු හිමියන් මත මෙය දරා ගත නොහැකි බරක් පැටවෙන නිසාය. පොහොර, කෘෂි රසායන සහ නැවත වගා කිරීම වැනි මූලික අවශ්‍යතා සඳහා වන වියදම් සමඟ පොරබදමින් සිටින මෙම කුඩා වතු හිමියන්ගේ මූල්‍ය පීඩනය මෙම වැඩිවීම මගින් උග්‍ර කරනු ඇත. එමගින් සිදුවන්නේ ඔවුන් කර්මාන්තය අත හැර යාමට පෙළඹ වීමකි. මෙමගින් ගෝලීය තේ වෙලඳපොලේ තරඟකාරිත්වය නැති වී යන අතර එමඟින් ප්‍රමුඛ තේ අපනයනකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ නාමයට කැළලක් විය හැකි අතර වෙළඳපල කොටස් අහිමි වී යනු ඇත. එබැවින් වතු සේවකයාගේ ජිවන අරගලයට සහනයක් වෙමින් කර්මාන්තයේ ප්‍රයෝගික ගැටළු නිරාකරණය කරගනිමින් සැලසුම් සහගතව මෙම සංවේදී කාර්ය, වගකීම් සහගතව ඉටු කිරීමට රජයට ඇති යුතුකම පැහැර නොහරින්නේ නම් රටේ වැවිලි කර්මාන්තය වඩාත් ගුණාත්මක හා වර්ධනීය තත්වයකට පත් කර ගැනීමට හැකිය.
-චානුක බණ්ඩාර-