රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන උප කුලපති ධූරයෙන් ඉවත් වන තෙක් අඛණ්ඩ වැඩ වර්ජනයක් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (නොවැ. 19) සිට ක්‍රියාත්මක කරන බව රුහුණ විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය පවසයි.
රුහුණ විශ්වවිද්‍යාලය වසර ගණනාවක සිට දිනෙන් දින ම පරිහානියට පත් කිරීමේ වගකීම භාර ගෙන උප කුලපතිවරයා වහා තනතුරෙන් ඉවත් විය යුතු බව ත් ඔහු ඉවත් වනතෙක් ආචාර්යවරු සහ මහාචාර්යවරුන්ගේ සංගමය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් අද පෙරවරුවේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ත් සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක් සහ විරෝධතා පා ගමන් සංවිධානය කර ඇති බව ත් එම ආචාර්ය එකමුතුව පවසයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර මෙම ආචාර්යවරුන්ගේ එකමුතුව රුහුණ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවක් දක්වා උප කුලපතිවරයාට වහා ම ඉවත් වන ලෙස බල කළ අතර එසේ නොවන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව එහිදී දැනුවත් කළේ ය.
එහෙත් සතියකට අධික කාලයක් ගත වී ඇතත් උප කුලපතිවරයා තවදුරට ත් තනතුරේ රැඳී සිටීම හේතු කර ගෙන ඔහු ඉවත් කරන තෙක් අඛණ්ඩ වැඩ වර්ජනයක් සහ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම ආචාර්යවරුන්ගේ එකමුතුව සඳහන් කරයි.
එම එකමුතුව වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආචාර්ය මංජුල ද සිල්වා සඳහන් කළේ, උප කුලපතිවරයා ඉවත් කිරීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය සඳහා අද දින තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව ය.