ඇතැම් අභියෝග සඳහා ඇස් ඇරෙන්නේ අර්බුදයන් පැමිණි අවස්ථාවල දී බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.
හෙතෙම මේ අදහස් පළ කළේ පසුගියදා පදනම් ආයතනයේදී පැවති අගය එකතු කළ පොල් ආශ්‍රිත නිශ්පාදන සිදුකරන කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් දියත් කළ “Value added Coconut SME Forum” වැඩසටහනට එක්වෙමින්.
අගය එකතු කරන ලද පොල් ආශ්‍රිත නිශ්පාදනයන් හි වැදගත්කම සහ ඒවා අපනයනය කිරීම තුළින් මෙරටට ලැබෙන ආදායම ගැන මෙන්ම ව්‍යවසායකයින්ගේ අදායම ඉහළ මට්ටමකට රැගෙන ආ හැකි අයුරු මෙම වැඩසටහනේදී පැහැදිළි කෙරුණා.
ඉදිරියේදී සෑම කර්මාන්තයකටම අදාළ ව්‍යවසායකයින් දිරි ගන්වමින් ඔවුන් ජාත්‍යන්තර සන්නාම අතරට එක් කරගැනීමේ සඳහා මෙවැනි වැඩසටහන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“අපේ රටේ හොඳ දේවල් වෙලා නැත්තේ නෑ. මිනිස්සු උත්සාහ කරලා නැත්තෙත් නෑ. ඒකට අපිට ඇස් පනාපිට උදාහරණ තියෙනවා. පොල් සංවර්ධන මණ්ඩලය, පර්යේෂණ ආයතනය, සංවර්ධන අධිකාරිය මේ ගොල්ල වැඩ නොකර ඉඳලා නෑ. කර්මාන්ත අමාත්‍යාංශය, පෞද්ගලික අංශ මේ ඔක්කොම වැඩ කරලා නැත්තෙ නෑ. වැඩ කරලා තියෙනවා. හැබැයි මේවා එකිනෙකට සම්බන්ධ වෙලා තිබ්බේ නෑ.
ප්‍රශ්න විසඳන මූලික පියවර තමයි ප්‍රශ්නය හඳුනා ගැනීම. දෙවනුව අපි ඒ ගැටළුවට සම්බන්ධ සියළු පාර්ශවකරුවන් හදුනාගන්න ඕන. අපි දැන් කරන්නේ ඒක, මීට කලින් පොල් කර්මාන්තයට සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් එකට එකතු වෙලා තිබුණේ නෑ. අපි දැන් එක්කෙනා එක්කෙනා ගේනවා. පොල් කර්මාන්තයටට අදාළ පාර්ශවකරුවන් පළවෙනි වතාවට තමා එක තැනකට ආවේ. මම තව කර්මාන්තයකට කිව්වා, ඔය කර්මාන්ත වැහෙන්න යනකොට තමයි ඒ අය එකතු වෙන්නේ කියලා, සැපයුම්කරුවා, නිෂ්පාදකයා, අගය එකතු කරන්නා, අපනයනකරුවා හතර දෙනාටම තියෙන්නේ පෞද්ගලික අරමුණු, හතර දෙනා ගහගන්නවා. පස්සේ කර්මාන්තය වැහීගෙන එනකොට අමාත්‍යංශයට එනවා.
දැන් පොල් අර්බුදයට ආපු නිසා ඇස් ඇරිලා. අර්බුදයට ආවම තමයි අභියෝගවලට ඇස් ඇරෙන්නේ. නැත්නම් මම තමයි හොදටම කරන්නේ කියලා හිතාගෙන ඉන්නවා. ඉතිං අපි දැන් දැනුම මූලික කරගෙන සාමූහික වගකීමක් සහිතව මේ වැඩේ කරන්න ඕන. අපි පොල් සම්බන්ද විශය ප්‍රවීණයෝ නෙවයි, අපි කළමණාකරුවෝ, අපි කරන්නේ සහයෝගීතාව නිර්මාණය කිරීම, ගැටළුවලට මැදිහත්වීම සහ නිවැරදි තීරණ අරන් රටට හරි ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම.”