පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවය.
බැංකුවලට ඇප ලෙස පවරා තිබෙන දේපොළ පවරා ගැනීමේ බලය හිමිවන පරාටේ නීතිය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට නැවත බලාත්මක කර තිබේ.
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුව විසින් මාස 3කට අත්හිටවූ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට පෙර මාස 06ක කාලයකට එම නීතිය අත්හිටුවා තිබුණි.
කෙසේවෙතත් එම නීතිය බලාත්මක කිරීම තුළින් මෙරට කර්මාන්ත කඩා වැටෙන බව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් පෙන්වා දෙයි.
එම නිසා තවත් වසරක කාලයක් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ව්‍යාපාරිකයින් රජයෙන් ඉල්ලීමක් කළේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ අදාළ ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමේ අරමුණින් රජය කටයුතු කරමින් සිටින බවය.
මෙම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ඉදිරියේ දී බැංකු සහ සහ අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මොකක් ද මේ පරාටේ නීතිය?
යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී මුදල මුලින් එකඟ නියමිත කාලවකවානුවේදී ගෙවීමට නොහැකි වුවහොත් ඔබ බැංකුවට ණය මුදල ගෙවීම දිගින් දිගට ම පැහැරහැරිය විට අධිකරණ ක්‍රියාවලියකින් තොරව ණය අය කර ගැනීම සඳහා බැංකු වෙත බලයක් ලබා දී තිබේ.
බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව යමෙකු බැංකුවට උකස් කළ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය විය යුතු ණය හා පොළී මුදල අය කර ගැනීම පරාටේ නීතිය යනුවෙන් සරලව හැදින්විය හැකි ය.
1990ට පෙර මෙම පරාටේ නීතිය යටතේ එන බලතල ලබා දී තිබුණේ ලංකා බැංකුව, මහජන බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වැනි රාජ්‍ය අංශය යටතේ ක්‍රියාත්මක වූ බැංකු සඳහා පමණි.
එහෙත්, 1990 අංක 04 දරන බැංකු මගින් ප්‍රදානය කරන ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ බලපත්‍රලාභී සෑම වාණිජ බැංකුවකට ම, එනම්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු සියල්ලට ම මේ පරාටේ නීතිය යටතේ එන බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හිමි විය.
- අද දෙරණ