ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද “යම් සහනයක්” වුවත්, “එය ප්‍රමාණවත් ද?” යනුවෙන් හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා X පණිවුඩයක් ඔස්සේ ප්‍රශ්න කර තිබේ.
“එක්සත් ජනපදය ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා තීරුබදු 44% සිට 30% දක්වා අඩු කර ඇත – එය පිළිගත හැකි පියවරකි! නමුත් එය තරගකාරී ද? ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා 350,000ක් සහ වක්‍ර රැකියා 600,000ක් අවදානමට ලක්ව ඇති අතර, අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් සමගින්, අපි අපගේ ප්‍රධාන ප්‍රතිවාදීන් අභිබවා යා යුතු ය. වියට්නාමය 20%ක්, බංග්ලාදේශය 35%ක් (තවමත් සාකච්ඡා කරමින් සිටින) වන අතර ඉන්දියාව ආක්‍රමණශීලී ලෙස ඉදිරියට යමින් සිටී.”
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු සියලු අපනයන කර්මාන්තවලට මෙය ඍජුව බලපානු ඇතැයි කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ඊට කරුණු කිහිපයක් බලපාන බව ය.
“ශ්‍රී ලංකාවේ දැනටමත් විදුලිය, ජලය වගේ පහසුකම්වලට මිල ගොඩක් ඉහළ අගයක තියෙන්නේ. ඒ වගේ ම, කම්කරු වැටුප් වැඩි යි. ඉන්දියාවේ මේ සියලු දේ සඳහා යන වියදම අඩු යි. ඒ අතරේ, අපට වඩා අඩු තීරු බද්දක් ඉන්දියාවට දුන්නොත් මේ තියෙන තත්ත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවන්. ආයෝජකයෝ සියලු දෙනා ඉන්දියාවට යයි. දැනටමත් වියට්නාමයට අපට වඩා අඩු තීරු බද්දක් පනවලා තියෙන්නෙ. මේ තත්ත්වය ඇඟලුම් කර්මාන්තයට ගොඩක් බලපානවා,”
ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් පැනවෙන 40%ක් වූ තීරු බද්ද මෙරට අපනයට ක්ෂේත්‍රයට කුමන බලපෑමක් එල්ල කරයි ද ?
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහතා,
“ඇඟලුම් ගත්තොත් අපි තරග කරන්නේ වියට්නාමය, බංග්ලාදේශය සහ සමහර අප්‍රිකානු රටවල් එක්ක. මේ රටවල වැටුප් මට්ටම ශ්‍රී ලංකාවේ මිලට වඩා අඩුයි. ඇතැම් විට අපේ මිල වැඩිවීම බංග්ලාදේශය සමග සසඳලා බැලුවොත් ලංකාවේ නිපදවන භාණ්ඩයකට වඩා මිල අඩුවීමේ ප්‍රතිශතය ඉතාම වැඩියි. මේ නිසා ශ්‍රී ලංකාවට සිදුවෙනවා ශ්‍රී ලංකාව අපනයනය කරන භාණ්ඩ විවිධාංගීකරණය කරන්න. අපනයනය කරන රටවලුත් විවිධාංගීකරණය කරන්න වෙනවා.”