දකුණු පළාතේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘උණාකූරුවේ ශාන්ත’ නමැත්තාගේ සමීපතම අනුගාමිකයකු රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය අද (01) සමත් විය. කළුතර අපරාධ කොට්ඨාසයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව අලුත්ගම දුම්රිය ස්ථානය අසල සිදුකළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ගිංතොට ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. මොහු අලුත්ගම සහ වැලිපැන්න ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම මත්ද්‍රව්‍ය තොගය වෙනත් පුද්ගලයකුට ලබාදීම සඳහා රැඳී සිට ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. සැකකරු ජාවාරම් කටයුතු සඳහා භාවිත කළ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතය.














