වසර ගණනාවක දේශපාලන අස්ථාවරත්වයකින් පසු තායිලන්ත මහ මැතිවරණය අද (08) පැවැත්වෙන අතර, මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින් පිරිසක් මේ වන විටත් ඡන්දය භාවිත කිරීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර තුනක් තුළ එරට පත්වූ තුන්වන නායකයා වන අගමැති අනුටින් චාන්විරකුල් විසින් මෙම හදිසි මහ මැතිවරණය කැඳවා තිබේ. මෙවර මැතිවරණයේදී අගමැතිවරයාගේ “භුමිජයිතායි” පක්ෂය හෝ මත විමසුම්වලින් ඉදිරියෙන් සිටින “මහජන පක්ෂය” යන දෙපාර්ශවයෙන් කිසිවකුටත් තනි බහුතරයක් දිනා ගැනීමට නොහැකි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ අනාවැකි පළ කරති.
තායිලන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන ආසන 500ක් සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්වේ. ඉන් මන්ත්‍රීවරුන් 400 දෙනෙකු කොට්ඨාස මට්ටමින් සෘජුවම තේරී පත්වන අතර, ඉතිරි ආසන 100 සමානුපාතික නියෝජනය යටතේ පක්ෂ ලැයිස්තු මඟින් වෙන් කිරීමට නියමිතය. දීර්ඝ කාලීන දේශපාලන කැළඹිලි හමුවේ තායිලන්තයේ අනාගත ගමන් මඟ තීරණය කිරීම සඳහා මෙම මැතිවරණ ප්‍රතිඵලය ඉතා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














