බස් රථය මග නවතා පරුෂ වචනයෙන් බැන පහරදී ඇති බවට හෙළි වෙයි
පහරදීමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වීමෙන් පසු අත්අඩංගුවට
තලවකැලේ – ඩයගම මාර්ගයේ ලිඳුල, තිස්පනේ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් නවතා එහි රියදුරාට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අද (08) අත්අඩංගුවට ගත් බව ලිඳුල පොලිසිය පවසයි.
ඩයගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථය මෙලෙස බාධාවට ලක් කර ඇති අතර, පහරදීම සිදු කර ඇත්තේ තලවකැලේ – ඇල්ජින් මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් රථයක සේවකයින් දෙදෙනෙකු බවට හැටන් ඩිපෝවේ සේවකයෝ චෝදනා කරති. මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පාසල් සිසුන් ඇතුළු මගීන් විශාල පිරිසක් සිට ඇත.
මෙම පහරදීම බස් රථයේ සිටි මගියෙකු විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර, එම දර්ශන පදනම් කර ගනිමින් සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.














