“ඔන්මැක්ස් ඩී.ටී ප්‍රයිවට් ලිමිටඩ්” (OnmaxDT) නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් සිදුකළ මහා පරිමාණ පිරමීඩ මූල්‍ය වංචාවට අදාළව මේ වන විට පැමිණිලි 20,931ක් ලැබී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අද (09) අධිකරණයට දැනුම් දුන්නේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ දිවයින පුරා පොලිස් ස්ථාන මගින් මෙම පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි.
දිනෙන් දින ඉහළ යන පැමිණිලි ප්‍රමාණය අනුව මෙම මූල්‍ය වංචාවේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 11ක් දක්වා වැඩි වී තිබේ. කෙසේ වෙතත්, සැකකාර පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති ‘ගෙවීම් සැලසුම’ (Payment Plan) තුළ ඇතුළත් වන්නේ බිලියන 2.6ක මුදලක් පමණක් බවත්, ඉතිරි බිලියන 08ක මුදල පිළිබඳව එහි කිසිදු සඳහන් කිරීමක් නොමැති බවත් රජයේ නීතිඥවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ මෙම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් රැසක් තවමත් නිදැල්ලේ සිටින බවයි. පිරමීඩ ජාලය ප්‍රවර්ධනය කළ ඇතැම් පුද්ගලයින්ට මෝටර් රථ පවා තෑගි ලෙස ලබා දී ඇති බව ද මෙහිදී අනාවරණය විය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතු කඩිනම් කර ඒ පිළිබඳ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.














