අලුත්ගම නගරය මැද සිනමා පටයක් බඳු මෙහෙයුමක්
මාවනැල්ලේ සිට පැමිණි සොරා හෙට අධිකරණයට
අලුත්ගම නගරයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් සොරකම් කර පළා යමින් සිටි 25 හැවිරිදි සැකකරුවෙකු, කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු විසින් සාර්ථකව හඹා ගොස් අත්අඩංගුවට ගැනීමේ පුවතක් අද (09) වාර්තා විය. තම ත්‍රිරෝද රථය යමෙකු පැහැරගෙන යන බවට එහි හිමිකරු කළ දැනුම්දීමකට අනුව, එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ වෙනත් නිලධාරීන් නොසිටීම හේතුවෙන් ස්ථානාධිපතිවරයා විසින් මෙම නිලධාරිනියන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ රාජකාරිය සඳහා යොදවා තිබුණි.
සැකකරු ත්‍රිරෝද රථය පදවාගෙන අලුත්ගම – වැලිපැන්න ප්‍රධාන මාර්ගයේ වේගයෙන් පළා යමින් සිටියදී, මෙම ධෛර්යවන්ත නිලධාරිනියන් දෙදෙනා ඔහු පසුපස හඹා ගොස් රථය නවතා සැකකරු මෙල්ල කර ගැනීමට සමත් වී ඇත. පොලිසිය කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අද උදෑසන දුම්රියෙන් අලුත්ගමට පැමිණ මෙම සොරකම සිදු කර ඇති බවයි. බෙන්තොට පදිංචි පුද්ගලයෙකුට අයත් මෙම ත්‍රිරෝද රථය පැහැරගත් සැකකරු හෙට (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














