ලිබියාවේ සුවාරා වෙරළට උතුරින් සංක්‍රමණිකයින් රැගත් රබර් යාත්‍රාවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) නිවේදනය කරයි. මෙම දරුණු අනතුරින් දිවි බේරා ගැනීමට සමත්ව ඇත්තේ නයිජීරියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු පමණක් වන අතර, ලිබියානු බලධාරීන් විසින් ඔවුන්ව බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
දිවි බේරාගත් එක් කාන්තාවකට තම ස්වාමිපුරුෂයා අහිමි වී ඇති අතර, අනෙක් කාන්තාවට ඇයගේ මාස කිහිපයක් වයසැති බිළිඳුන් දෙදෙනාම මෙම අනතුරින් අහිමි වී ඇති බව වාර්තා වේ. අප්‍රිකානු ජාතිකයින් රැගත් මෙම යාත්‍රාව පෙබරවාරි 5 වනදා රාත්‍රී 11ට පමණ ට්‍රිපොලි නුවරට බටහිරින් පිහිටි අල්-සාවියා ප්‍රදේශයෙන් පිටත්ව ඇති අතර, මුහුදේ පැය හයක ගමනකින් පසු යාත්‍රාව තුළට ජලය කාන්දු වීමෙන් පෙරළී ගොස් ඇත.
ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය පවසන පරිදි, මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට යාමට උත්සාහ කළ සංක්‍රමණිකයින් 375 දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී තිබේ. මීට අමතරව වාර්තා නොවන මරණ සිය ගණනක් සිදුව ඇති බවට ද එම සංවිධානය විශ්වාසය පළ කරයි.














