පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයකට කයිට්ස් පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා මියගිය 17 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු අද (12) වඩ්ඩුකොට්ටෙයි හිදී සිදු කෙරේ. පසුගිය 10 වැනිදා රාත්‍රියේ අල්ලපිඩ්ඩි හන්දිය අසලදී පොලිසිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ මණ්ඩතිව් දෙසට ධාවනය වූ සැකකටයුතු වෑන් රථයක් නතර කිරීමට උත්සාහ කිරීමේදීය. මුලින් අහසට වෙඩි තබා රථය නතර කිරීමට උත්සාහ කළද එය නොනවත්වා ධාවනය කිරීම නිසා පොලිසිය රථයට වෙඩි තබා ඇති අතර, එහිදී රියදුරු වෙඩි වැදී තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය. මේ අතර, අද දින දේහය රැගෙන යන අතරතුර මියගිය තරුණයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයක නිරත වූහ.














