තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ පවතින දැඩි ඉඩකඩ හිඟය සහ ශීතාගාර පහසුකම් අවම වීම හේතුවෙන් මළ සිරුරු ට්‍රොලි මත තබා කොරිඩෝවේ තැබීමට රෝහල් බලධාරීන්ට සිදු වී තිබේ. මෘත ශරීර නරක් වීම වැළැක්වීම සඳහා ඒවා මත අයිස් දැමීමට සිදුව ඇති අතර, ඒ සඳහා අවශ්‍ය අයිස් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් ලවා ගෙන්වා ගැනීමට සිදුවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. රෝහලේ පැරණි ශීතාගාරය අබලන්ව පවතින අතර දැනට පවතින නව ශීතාගාරයේ තැන්පත් කළ හැක්කේ සිරුරු දෙකක් පමණක් බව වාර්තා වේ. මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් දිගු කලක් තිස්සේ දැනුවත් කර තිබුණද මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසති.














