සුරාබදු ගෙවීම් පැහැර හරිනු ලැබූ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා අවශ්‍ය සියලු නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. සමාජ ක්‍රියාකාරිකයෙකු වන සංජය මහවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදු කෙරිණි.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ, ඇතැම් සමාගම්වල හිඟ බදු මුදල් වසරින් වසර ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. විශේෂයෙන්ම ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ හිඟ බදු මුදල 2020 වසරේ පැවති රුපියල් බිලියන 1.29 සිට 2024 වන විට රුපියල් බිලියන 1.6 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය එම සමාගම්වල බදු ගෙවීමේ සද්භාවයක් නොමැති බවට සාක්ෂියක් බවත් ඒ මහතා අවධාරණය කළේය.
ඊට පිළිතුරු දෙමින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් මහතා සඳහන් කළේ, සිය සේවාදායකයාගේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර මේ වන විටත් අත්හිටුවා ඇති අතර බැංකු ගිණුම් සහ දේපළ ද තහනමට ගෙන ඇති බවයි. හිඟ බදු අයකර ගැනීම සඳහා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ග ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට ඉදිරිපත් කළේය. කරුණු සලකා බැලූ අධිකරණය, මෙම නඩුකරයේ ප්‍රගතිය විමසීම සඳහා පෙත්සම යළි මාර්තු මස 05 වන දින කැඳවීමට නියම කළේය.














