දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (13) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී නැවත පදිංචි කිරීමේ කටයුතු මාසයක් ඇතුළත අවසන් කිරීමට තීරණය කෙරුණි.
මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා රජය අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි වෙන් කර ඇති බවයි. විශේෂයෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) වාර්තා ලබා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍යවරයා, අවශ්‍ය නම් වාර්තා ලබා දී අවසන් කළ වෙනත් දිස්ත්‍රික්කවල නිලධාරීන්ගේ සහාය ලබාගෙන හෝ මෙම කටයුත්ත කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.
නැවත පදිංචි කිරීම් සිදු කිරීමේදී පෙර නිවස පිහිටි ස්ථානයේම පදිංචි කළ හැකි පිරිස් සහ ආරක්ෂිත වෙනත් ස්ථානයක පදිංචි කළ යුතු පිරිස් හඳුනා ගැනීම NBRO වාර්තා මත පදනම්ව සිදු කෙරේ. ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන්නේ විපතට පත් ජනතාවට කඩිනමින් ස්ථිර නිවාස ලබා දීම බැවින්, ඉඩම් වෙන් කර ගැනීමේදී මතුව ඇති ගැටලු ද දිස්ත්‍රික් මට්ටමින් විසඳීමට මෙහිදී පියවර ගෙන තිබේ.














