අන්තර්ජාල ව්‍යාපාර හරහා ඉහළ ලාභාංශ ලබාගත හැකි බව පවසා කාන්තාවන් රවටා මුදල් වංචා කිරීමේ සිද්ධීන් දෙකකට අදාළව, තම බැංකු ගිණුම් ජාවාරම්කරුවන්ට ලබාදුන් සැකකරුවෙකු සහ සැකකාරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානයට අනුව, මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
මෙහිදී එක් පැමිණිලිකාරියකගෙන් රුපියල් 3,141,967ක මුදලක් වංචා කර ඇති අතර, ඉන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගාල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකාරියකගේ ගිණුමට බැර කර ඇත. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය එම බැංකු ගිණුම මුදලට තෙවන පාර්ශවයකට අලෙවි කර ඇති බවයි. අනෙක් සිද්ධියේදී ද එම ප්‍රමාණයේම මුදලක් වංචා කර ඇති අතර, ඉන් රුපියල් 233,522ක මුදලක් පානදුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරුවෙකුගේ ගිණුමට බැර කර තිබේ. ඔහු ද වංචනික අරමුණින් තම ගිණුම නොදන්නා පාර්ශවයකට අලෙවි කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.














