අබුඩාබි මාස්ටර් ගේම්ස් 2026 ජාත්‍යන්තර තරගාවලියේදී ලෝකයේ රටවල් 143ක් අබිබවා තුන්පිම්ම ඉසව්වෙන් ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වූ නාලක සමන්තසිරි මහතා සිය ජයග්‍රාහී කුසලානය සමඟ දිවයිනට පැමිණියේය. ගම්පහ දිසා අධිකරණයේ සිතාසි සහ ඇස්කීසී ක්‍රියාත්මක කිරීමේ නිලධාරියෙකු ලෙස සේවය කරන ඔහු මෙරටට ලබාදුන් මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
ලෝක ශූරතාව දිනා මෙරටට පැමිණි නාලක සමන්තසිරි මහතා පිළිගැනීම සඳහා සමස්ත ලංකා සිතාසි සහ ඇස්කීසී ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ සංගමය විසින් කටුනායක ගුවන් තොටුපළේදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි. එම සංගමයේ සභාපති සුදත්ත පාලිත සහ ලේකම් වසන්ත කුමාර යන මහත්වරුන් ප්‍රමුඛ සාමාජික පිරිසක් ගුවන්තොටුපළ වෙත පැමිණ ජයග්‍රාහී ක්‍රීඩකයා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. රාජ්‍ය සේවයේ වගකීම් ඉටු කරන අතරතුර ජාත්‍යන්තර තලයේ මෙවැනි දක්ෂතාවක් දැක්වීම සමස්ත රාජ්‍ය සේවයටම මහත් ගෞරවයක් බව එහිදී අදහස් දැක්වූ නිලධාරීහු අවධාරණය කළහ.














