ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය බඩඉරිඟු සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහ ලංකා ත්‍රිපෝෂ සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් ඊයේ (18) අත්සන් කරන ලදී. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති මෙම අවස්ථාවට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු සහ ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක යන මහත්වරුන් සහභාගී වූහ.
පසුගිය පෙබරවාරි 03 වැනිදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ක්‍රියාත්මක වන මෙම ගිවිසුම යටතේ, බඩඉරිඟු මෙට්‍රික් ටොන් 4,000ක තොගයක් මෙරටට ආනයනය කිරීමට නියමිතය. මෙහි පළමු තොගය ලෙස මෙට්‍රික් ටොන් 1,500ක් ලබන මාර්තු මස පළමු සතිය වන විට මෙරටට ගෙන්වා ත්‍රිපෝෂ සමාගම වෙත ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ආනයනික බඩඉරිඟු මිලදී ගැනීම සඳහා ලංකා ත්‍රිපෝෂ සමාගම මෙවැනි ගිවිසුමකට එළැඹි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම නව සැපයුම් ජාලය හරහා ඉදිරියේදී දිවයින පුරා සිටින ගැබිනි මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට සහ තෝරාගත් දරුවන්ට කිසිදු හිඟයකින් තොරව ත්‍රිපෝෂ ලබා දීමට හැකියාව ලැබෙනු ඇත. පසුගිය කාලසීමාවේදී අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනයට එල්ල වූ බාධාවන් මඟහරවා ගනිමින් ජාතික පෝෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණයි.














