Turning Point USA (TPUSA) නිර්මාතෘ දිවංගත චාලි කර්ක්ගේ වැන්දඹු බිරිඳ වන එරිකා කර්ක් (Erika Kirk), නිව්යෝර්ක් නුවර සුප්‍රකට නිශ්චල දේපළ සමාගමක් වන Corcoran Group හි සේවය කිරීම පදනම් කරගනිමින් විවිධ කටකතා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් පවතී. ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මෑතකදී ප්‍රසිද්ධියට පත් කරන ලද ජෙෆ්රි එප්ස්ටයින්ට (Jeffrey Epstein) අදාළ ලිපිගොනු සමඟ ඇගේ නම සම්බන්ධ කරමින් මෙම මතභේදය පැන නැඟී ඇත.
Corcoran Group සමාගම විසින් ජෙෆ්රි එප්ස්ටයින්ට අයත් පාම් බීච් මන්දිරය සහ නිව්යෝර්ක් නුවර පිහිටි නිවස, ඔහුගේ වින්දිතයන්ට වන්දි ගෙවීම සඳහා අලෙවි කර තිබුණි. මෙම විකුණුම් කටයුතු මෙහෙයවා ඇත්තේ එම සමාගමේ නියෝජිතයෙකු වන කෙරී වෝර්වික් (Kerry Warwick) විසින් වුවද, එරිකා කර්ක් ද එම සමාගමේ සේවය කිරීම හේතුවෙන් ඇය ද මෙම දේපළ හැසිරවීමට සම්බන්ධ වූ බවට සමහරු අනුමාන කරති.
කෙසේ වෙතත්, Epstein Files Transparency Act යටතේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන ලද මිලියන සංඛ්‍යාත ලිපිගොනු පිරික්සීමේදී, එරිකා කර්ක් හෝ චාලි කර්ක් එම සිදුවීම්වලට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් හෝ සඳහනක් හමු වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරිකා කර්ක් වර්තමානයේ සිය සැමියාගේ සංවිධානය වන TPUSA හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන අතර, ඇය තවදුරටත් Corcoran Group සමඟ සම්බන්ධ වී සිටිනවාද යන්න අපැහැදිලිය.














