පසුගිය 13 වැනිදා අකුරේගොඩ සුපිරි වෙළඳසැල් රථගාලකදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් “පොල්ගස්ඕවිට ඩිලා” නමැත්තා විසින් විමර්ශන නිලධාරීන් හමුවේ සිද්ධිය වූ ආකාරය පිළිබඳව දීර්ඝ පාපොච්චාරණයක් සිදු කර තිබේ. මෙම ඝාතනය ඩුබායි හි සැඟව සිටින “මල්වානේ ටුටු” සහ “මෝදර නිපුන” යන පාතාල සාමාජිකයන්ගේ මෙහෙයවීමෙන් සිදුවූවක් බවට දැනටමත් තහවුරු වී ඇත.
ඝාතනය සැලසුම් කර ක්‍රියාත්මක කළ ආකාරය පොල්ගස්ඕවිට ඩිලාගේ පාපොච්චාරණයට අනුව මෙසේය. ඝාතනය වූ දින මෝදර නිපුනගේ පාර්ශවය විසින් කොටිකාවත්ත ප්‍රදේශයේදී ඩිලා වෙත ගිනි අවි ලබා දී තිබේ. පසුව ඩිලා සහ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලියනාරච්චි සහෝදරයන් දෙදෙනා කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් ගිනි අවි ද රැගෙන පස්වරු 3:30ට අකුරේගොඩට පැමිණ ඇත. ඝාතකයන් පැමිණි මෝටර් රථය වෙත ගිනි අවි ලබා දුන් ඩිලා ඇතුළු පිරිස, රොබට් ගුණවර්ධන මාවතේ රැඳී සිටිමින් නීතිඥ යුවළ පැමිණෙන තෙක් ඔත්තු බලා තිබේ. එහිදී නීතිඥවරයාගේ රථය දුටු සැණින් ඩිලා විසින් ඝාතකයන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් “ඔන්න දැන් එනවා” යනුවෙන් ඝාතනය සඳහා අවසන් සංඥාව ලබා දී ඇත.
සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ සනෝජ් කෝකිල සහ නදුන් කවීෂ යන ලියනාරච්චි සහෝදරයන් දෙදෙනා ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඊයේ (18) නියෝග කළේය. බන්ධනාගාරයට රැගෙන යාමට පෙර ඔවුන් දෙදෙනා මහේස්ත්‍රාත්වරයා හමුවේ පැයකට අධික කාලයක් රහස් ප්‍රකාශයක් ද ලබා දී තිබේ. මෙම ඝාතනයට සෘජුවම සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන පවත්වයි. හමුදා මූලස්ථානයට ඉතා ආසන්නයේ සිදුවූ මෙම ඝාතනය හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව ද දැඩිව තර කර තිබේ.














