කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේදී (JCT) ටයිල් අඩංගු බහලුම් දෙකක් අනතුරට ලක්වීමෙන් එහි තිබූ සම්පූර්ණ ටයිල් තොගයම විනාශ වී ඇති බව වරාය අධිකාරිය පවසයි. ඊයේ (18) දින සිදුවූ මෙම අනතුරින් කිසිදු පුද්ගල හානියක් වාර්තා වී නොමැති වුවද, විනාශ වූ ටයිල්වල වටිනාකම රුපියල් කෝටි ගණනක් වන බව ගණන් බලා තිබේ.
මෙම ටයිල් තොගය ඉන්දියාවේ සිට මෙරට ආනයනකරුවෙකු විසින් ගෙන්වා ඇති අතර, එක් බහලුමක ටයිල් පෙට්ටි 2,250 බැගින් බහලුම් දෙකෙහිම පෙට්ටි 4,500ක් අඩංගු වී ඇත. වරායේ ග්‍රැන්ඩ් දොඹකරයක් (Gantry Crane) මගින් මෙම බහලුම් ගොඩබෑමට උත්සාහ කිරීමේදී, බහලුම දොඹකරයට සම්බන්ධ වන අගුල් (Locks) බුරුල් වීම හේතුවෙන් මෙම කඩා වැටීම සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වරාය බලධාරීන් පවසන පරිදි, අනතුර සිදු වන අවස්ථාවේ අවට සේවකයන් නොසිටීම නිසා විශාල ජීවිත හානියක් වැළකී ඇත. කෙසේ වෙතත්, මෙම අලාභය සම්බන්ධයෙන් වන රක්ෂණ ආවරණ සහ දොඹකරයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව වරාය අධිකාරිය වැඩිදුර විමර්ශන පවත්වයි.














