කොළඹ දිසා අධිකරණ ගොඩනැගිල්ලේ ඉහළ මහලක පිහිටි වැසිකිළි පද්ධතියකින් අපජලය කාන්දු වී බිම් මහලේ පිහිටි ප්‍රධාන ලේඛනාගාරය මතට පතිත වීම හේතුවෙන් එහි කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇති බව වාර්තා වේ. වසර සිය ගණනක් පැරණි මෙම ගොඩනැගිල්ලේ වත්මන් සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතින අතරතුර මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වී තිබේ.
අපජලය ලේඛනාගාරය තුළට ගලා ඒම නිසා එහි විදුලි සැපයුම ද ආරක්ෂිත පියවරක් ලෙස විසන්ධි කර ඇත. මෙලෙස අපජලය කාන්දු වීම හේතුවෙන් වටිනා අධිකරණ ලේඛන සහ ඉපැරණි නඩු වාර්තාවලට හානි වීමේ දැඩි අවදානමක් පවතින බව සේවකයෝ පෙන්වා දෙති. අධිකරණ නිලධාරීන් රාජකාරී කටයුතුවල නිරතව සිටියදී මෙම කාන්දුවීම ආරම්භ වී ඇති අතර, ඒ සමඟම සේවකයින් ලේඛනාගාරයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇත.
ඉපැරණි ලී සොල්දරයකින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පවතින අක්‍රමවත් ජල පවාහන පද්ධතිය මෙම තත්ත්වයට හේතු වී තිබේ. මේ හේතුවෙන් දෛනිකව ලේඛන ලබා ගැනීමට සහ පරීක්ෂා කිරීමට පැමිණෙන නීතිඥවරුන් සහ සාමාන්‍ය ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.














