අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථවාහන සඳහා ගාස්තු ගෙවීමට භාවිතා කරන විද්‍යුත් ගාස්තු එකතු කිරීමේ (ETC) කාඩ්පත් මාසයක පමණ කාලයක සිට වෙළඳපොළේ නොමැති වීම හේතුවෙන් රියදුරන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. මෙම කාඩ්පත් නොමැති වීම නිසා බොහෝ රියදුරන්ට සාමාන්‍ය මුදල් ගෙවීමේ මංතීරුවල දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බවට මැසිවිලි නැඟේ.
මේ පිළිබඳව කරුණු පැහැදිලි කළ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා ප්‍රකාශ කළේ, ටෙන්ඩර් පටිපාටිය යටතේ ගෙන්වන ලද කාඩ්පත් තොගයේ තාක්ෂණික දෝෂ පවතින බව නිරීක්ෂණය වූ නිසා ඒවා අවලංගු කිරීමට පියවර ගත් බවයි. සාම්පල් පරීක්ෂාවේදී එම කාඩ්පත් නිසි ලෙස ක්‍රියාත්මක වුවද, සමස්ත තොගය ලැබුණු පසු එහි දෝෂ වාර්තා වී තිබේ.
කාඩ්පත් අවලංගු කිරීම නිසා රජයට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදු නොවන බවත්, නිසි ප්‍රමිතියෙන් යුත් නව කාඩ්පත් තොගයක් වහාම ලබා දෙන ලෙස අදාළ සමාගමට දැනුම් දී ඇති බවත් ඒ මහතා පැවසීය. එම සමාගම දැනුම් දී ඇති පරිදි තවත් සති දෙකක් ඇතුළත නව කාඩ්පත් තොගය මෙරටට ලැබීමට නියමිතය.
දැනට මෙම කාඩ්පත් නිකුත් කිරීමේ මධ්‍යස්ථාන පෑලියගොඩ, ජා-ඇල සහ සීදුව යන ස්ථානවල පිහිටුවා ඇති අතර, නව තොගය ලැබුණු වහාම එම මධ්‍යස්ථාන හරහා ජනතාවට කාඩ්පත් නිකුත් කිරීම යළි ආරම්භ කෙරේ.














