අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. අද (20) පෙරවරු 8.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩහින්න සහ වලපනේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට 2 වන මට්ටමේ (Amber) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව බලධාරීන් අවධාරණය කරයි.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්දකැටිය යන ප්‍රදේශවලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරාටා සහ හඟුරන්කෙත යන ප්‍රදේශවලට 1 වන මට්ටමේ (Yellow) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කඳු බෑවුම් ආශ්‍රිතව ජීවත් වන ජනතාව පොළොවේ ඇතිවන පැලුම්, ගස් හෝ විදුලි කණු ඇලවීම් සහ උල්පත් ජලය හදිසියේ බොර වීම වැනි පූර්ව නායයෑම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතුය. හදිසි අවස්ථාවකදී අදාළ ප්‍රදේශවල ආපදා කළමනාකරණ නිලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස ද දැනුම් දී ඇත.
















