ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හදිසි බලතල භාවිත කරමින් පනවන ලද “සම ප්‍රතිදාන” (Reciprocal Tariffs) ඇතුළු ආනයන බදු නීතිවිරෝධී බවට පසුගිය සිකුරාදා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් 6-3 ක තීන්දුවට අනුව, හෙට (පෙබරවාරි 24) සිට එම බදු එකතු කිරීම නතර කරන බව ඇමරිකානු රේගුව සහ දේශසීමා ආරක්ෂක අංශය (CBP) නිවේදනය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දුන්නද, රේගු මෘදුකාංග පද්ධති යාවත්කාලීන නොවීම නිසා අද දිනය දක්වාම ආනයනකරුවන්ට මෙම බදු ගෙවීමට සිදුවිය. එහෙත් පෙබරවාරි 24 වැනි අඟහරුවාදා පෙරවරු 12:01 සිට ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) යටතේ පනවා තිබූ සියලුම බදු එකතු කිරීම නතර කෙරෙනු ඇත. මෙම තීරණයත් සමඟ ඉන්දියාව වැනි රටවලින් රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා තිබූ බදු ද අහෝසි වනු ඇත.














