වැලිගම ප්‍රදේශයේ සංචාරක හෝටල් හිමියෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට පැමිණි කුලී ඝාතකයා අල්ලා දීමට සහාය වූ ඔත්තුකරුට, ඩුබායි හි සැඟවී සිටින ‘ආමි චූටි’ නමැති පාතාල නායකයා විසින් මරණීය තර්ජන එල්ල කර තිබේ. මෙම කුලී ඝාතකයා ටී-56 අවියක්, අත්බෝම්බ සහ උණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතා ඇතුළු කණ්ඩායමට තොරතුරු ලබා දුන්නේ මෙම පුද්ගලයා විසිනි. කප්පම් මුදල් ලබා නොදීම නිසා හෝටල් හිමියා ඝාතනය කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීමත් සමඟ පාතාල නායකයා ඔත්තුකරුට සහ ඔහුගේ බිරිඳට දුරකථනයෙන් අමතා “පෙට්ටි ලෑස්ති කරගනිව්” යනුවෙන් තර්ජනය කර ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇතත් මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට චෝදනා එල්ල වේ. මීට පෙරද කිරින්ද ප්‍රදේශයේදී රුපියල් කෝටි 350ක මත්ද්‍රව්‍ය වැටලීමකට තොරතුරු ලබාදුන් ඔත්තුකරු ඝාතනය කිරීමටත්, ඔහුගේ හිස කපා රොහාන් ඕලුගල මහතාගේ නිවසේ තාප්පය මත තැබීමටත් ‘අංගොඩ ප්‍රියංකර’ නමැති පාතාල නායකයා සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී හෙළි විය. පොලිසියට තොරතුරු සපයන ඔත්තුකරුවන්ගේ ජීවිත මෙලෙස පාතාල කල්ලිවල සෘජු තර්ජනයට ලක්වීම බරපතළ ආරක්ෂක ගැටලුවක් ලෙස පැනනැගී තිබේ.














