ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉහළ දායකත්වයක් දක්වන බදු ගෙවන්නන් ඇගයීම සහ දිරිමත් කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වරප්‍රසාද කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. බදු ගෙවන්නන්ගේ අවංකභාවය සහ පුරවැසි වගකීම අගය කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා පුද්ගල බදු ගෙවන්නන් අතර ස්වයං තක්සේරු බදු ගෙවීම දිරිමත් කිරීම සහ බදු පැහැර හැරීම් අවම කිරීම අපේක්ෂා කෙරේ. නියමිත දිනට පෙර ආදායම් වාර්තා ඉදිරිපත් කළ සහ යහපත් බදු අනුකූලතාවයක් පවත්වා ගන්නා පිරිස් වෙත මෙම කාඩ්පත් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රන් (Gold) සහ රිදී (Silver) ලෙස කාණ්ඩ දෙකක් යටතේ මෙම වරප්‍රසාද කාඩ්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පූර්වගාමී තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 5ක් හෝ ඊට වැඩි ආදායම් බද්දක් ගෙවා ඇති පුද්ගලයන්ට රන් කාඩ්පත හිමිවන අතර රුපියල් මිලියන 3ත් 5ත් අතර බදු මුදලක් ගෙවූ පුද්ගලයන් රිදී කාඩ්පතක් සඳහා සුදුසුකම් ලබනු ඇත. රන් කාඩ්පතකට සුදුසුකම් ලබන අයෙකුට එම වසරේම රිදී කාඩ්පතක් හිමි නොවන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙම වරප්‍රසාද කාඩ්පත සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබන බදු ගෙවන්නන් දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඇති නිශ්චිත ආකෘති පත්‍රය සම්පූර්ණ කර ආදායම් අධීක්ෂණ ඒකකයේ කොමසාරිස් වෙත ඉදිරිපත් කළ යුතුය. 2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය දීර්ඝ කිරීම හේතුවෙන් වරප්‍රසාද කාඩ්පත් අයදුම්පත් භාරගැනීම ද 2026 පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර තිබේ. සියලුම සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට සති තුනක් ඇතුළත කාඩ්පත් නිකුත් කිරීමට පියවර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














