කටාර් රාජ්‍යයේ බලශක්ති ක්ෂේත්‍රයේ හදවත බඳු රාස් ලෆාන් (Ras Laffan) කාර්මික නගරය සහ මෙසායීඩ් (Mesaieed) ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් අද (02) ඉරාන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ කටාර් රාජ්‍යයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක වූ පළමු ප්‍රධාන අවස්ථාව මෙය ලෙස සැලකේ.
එක් ඩ්‍රෝන ප්‍රහාරයක් මෙසායීඩ් ප්‍රදේශයේ පිහිටි විදුලි බලාගාරයක ජල ටැංකියකට එල්ල වී ඇති අතර, දෙවන ප්‍රහාරය කටාර් එනර්ජි (Qatar Energy) සමාගමට අයත් රාස් ලෆාන්හි බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වී ඇත. මෙම ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවත්, ඇති වූ සුළු ගිනි ගැනීම් පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වූ බවත් විදේශ වාර්තා පවසයි.
මෙම ප්‍රහාරයන්ට අමතරව, කටාර් ගුවන් ආරක්ෂක පද්ධති මගින් හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉලක්ක කර පැමිණි ප්‍රහාර ද සාර්ථකව මැඩපවත්වා ඇත. කටාර් විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙම “නොහික්මුණු” ප්‍රහාරයන්ට නිසි පිළිතුරු ලබා දීමට තමන් පසුබට නොවන බවයි.
දැනට පවතින තත්ත්වය අනුව කටාර්හි වෙසෙන සියලුම පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය කටයුත්තකට මිස නිවෙස්වලින් බැහැරට නොයන ලෙසත්, ජාතික අනතුරු ඇඟවීමේ පද්ධතිය (National Warning Mechanism) මගින් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත් දැනුම් දී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ප්‍රහාරවලදී ලාංකිකයෙකුට සුළු තුවාල සිදුව ඇති බව වාර්තා වුවද, කටාර්හි ප්‍රහාරවලින් කිසිදු ලාංකිකයෙකුට හානියක් සිදු වී නැත.














