අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ මැදපෙරදිග ප්‍රධාන ගුවන් ගමන් මධ්‍යස්ථාන වැසී යාම නිසා ආසියාව සහ යුරෝපය අතර ගුවන් ටිකට්පත් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. දිනකට ගුවන් ගමන් 1,000කට අධික සංඛ්‍යාවක් හසුරුවන ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ගල්ෆ් කලාපයේ ප්‍රධාන මධ්‍යස්ථාන අඛණ්ඩව සිව්වන දිනටත් අද (අඟහරුවාදා) වසා තබා ඇත. මේ හේතුවෙන් එමිරේට්ස් සහ කටාර් එයාර්වේස් වැනි ගුවන් සමාගම් හරහා යුරෝපයට ගමන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටි මගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ගල්ෆ් කලාපයේ ගුවන් අවකාශය භාවිත කිරීමට නොහැකි වීම නිසා බොහෝ මගීන් දැන් චීනය, සිංගප්පූරුව සහ හොංකොං වැනි විකල්ප මාර්ග ඔස්සේ යුරෝපයට යාමට පෙළඹී සිටිති. මෙය විකල්ප මාර්ග ඔස්සේ පියාසර කරන ගුවන් සමාගම්වල ටිකට්පත් සඳහා පවතින ඉල්ලුම ඉහළ නැංවීමට හේතු වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය මිලට වඩා කිහිප ගුණයකින් ගාස්තු ඉහළ ගොස් ඇත. උදාහරණයක් ලෙස, හොංකොං සිට ලන්ඩන් දක්වා කැතේ පැසිෆික් (Cathay Pacific) ගුවන් සමාගමේ ආර්ථික පන්තියේ ආසනයක් මාර්තු 11 වනදා දක්වා වෙන් කර අවසන් වී ඇති අතර, පවතින ආසනයක මිල ද හොංකොං ඩොලර් 21,158ක් (රුපියල් ලක්ෂ 8කට අධික) දක්වා ඉහළ ගොස් තිබේ.
තායිලන්තයේ සිට යුරෝපයට යන ගුවන් ගමන් ද මේ වන විට සම්පූර්ණයෙන්ම වෙන් කර අවසන් බව වාර්තා වේ. බැංකොක් සිට ලන්ඩන් දක්වා තායි එයාර්වේස් (Thai Airways) සමාගමේ ටිකට් පතක මිල ද සාමාන්‍ය මට්ටමට වඩා තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. ගුවන් සමාගම්වලට මැදපෙරදිග ගුවන් අවකාශය මඟහැර පියාසර කිරීමට සිදුවීම නිසා පියාසර කාලය සහ ඉන්ධන පිරිවැය ඉහළ යාම මෙම මිල ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවකි. ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම ද මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ ගෝලීය ගුවන් ගමන් සම්බන්ධතාවලට මෙයින් බරපතල බලපෑමක් එල්ල වනු ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.














