කුරුණෑගල, මහව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් වටලා එහි හිමිකරු සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටයුතු කර තිබේ. ජපානයේ ඉදිකිරීම්, හෝටල් සහ රියදුරු රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7.5ක මුදලක් වංචා කළ බවට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ ජපන් භාෂාව ඉගැන්වීමේ මුවාවෙන් සුදුසුකම් නොමැති පුද්ගලයින් සඳහා මෙරට ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල උපාධි සහතික සහ සේවා සහතික කූට ලෙස සකස් කරමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි.
මහව, දළදාගම හන්දියේ පිහිටි මෙම ස්ථානය පරීක්ෂා කිරීමේදී ව්‍යාජ සහතික ආකෘති සහිත ලැප්ටොප් පරිගණක, ගිවිසුම් පත්‍ර සහ ප්‍රචාරක පත්‍රිකා රැසක් නිලධාරීන් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම හේතුවෙන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණු අතර, ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ. විදේශ රැකියා ලබාගැනීමේදී ලියාපදිංචි ආයතන හරහා පමණක් කටයුතු කරන ලෙසත්, මෙවැනි වංචනිකයින්ට හසුනොවන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














