අමෙරිකාව සහ ඉශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර සහ ඊට පිළිතුරු ලෙස ඉරානය රියාද්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කිරීමත් සමඟ ලොව පුරා තුන්වන ලෝක යුද්ධයක් පිළිබඳ දැඩි භීතියක් නිර්මාණය වී ඇත. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් වැනි රටවල වෙසෙන අමෙරිකානු පුරවැසියන්ට වහාම එම රටවලින් ඉවත් වන ලෙස දන්වා ඇති පසුබිමක, යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවා ප්‍රකාශ කර ඇත්තේ ව්ලැඩිමීර් පුටින් විසින් දැනටමත් ලෝක යුද්ධය ආරම්භ කර ඇති බවයි. මෙම දරුණු පුවත් සහ දර්ශන හමුවේ මිනිසුන් තුළ ඇති වන මානසික පීඩනය සහ අවිනිශ්චිතතාව පාලනය කරගැනීම සඳහා මනෝචිකිත්සක එලොයිස් ස්කිනර් (Eloise Skinner) වැදගත් උපදෙස් කිහිපයක් ලබා දෙයි.
ඇය පෙන්වා දෙන්නේ මෙවැනි ගෝලීය අර්බුද හමුවේ එක් එක් පුද්ගලයා දක්වන ප්‍රතිචාරය වෙනස් වන බැවින්, මුලින්ම තමන් තුළ ඇති වන බිය කුමන ආකාරයේ එකක්ද යන්න හඳුනාගත යුතු බවයි. නිදසුනක් ලෙස, අනාගතය පිළිබඳ පවතින අවිනිශ්චිතතාව නිසා බියක් ඇති වේ නම්, වර්තමාන මොහොත පිළිබඳ අවධානය යොමු කිරීම (Present-moment awareness) සහ චර්යාත්මක ප්‍රතිකාර (CBT) වැනි ක්‍රමවේද භාවිත කළ හැකිය. අනවශ්‍ය ලෙස පුවත් නැරඹීම සීමා කිරීම සහ දෛනික චර්යාවන් විධිමත්ව පවත්වාගෙන යාම මගින් මනස සැහැල්ලු කර ගැනීමට හැකි වන බව ඇය සඳහන් කරයි.
යුද්ධය සහ විනාශය පිළිබඳ පුවත් මගින් ඇති වන ආතතිය අවම කර ගැනීමට පවුලේ අය සහ මිතුරන් සමඟ වැඩි කාලයක් ගත කිරීම මෙන්ම තමන් අගය කරන දේවල් වෙනුවෙන් කාලය වැය කිරීම අතිශය වැදගත් වේ. තමන් තුළ ඇති වන බිය සහ පීඩනය පිළිබඳව විශ්වාසවන්ත අයෙකු සමඟ කතා කිරීම හෝ සටහන් පොතක ලිවීම (Journaling) මගින් මානසික සහනයක් ලබාගත හැකිය. තත්ත්වය තවදුරටත් දරුණු වේ නම් මානසික සෞඛ්‍ය විශේෂඥයෙකුගේ සහය ලබා ගැනීමට පසුබට නොවන ලෙස ඇය වැඩිදුරටත් උපදෙස් දෙයි.














