මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03) රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) නායකත්වය සමඟ විශේෂ දුරකථන සාකච්ඡාවක නිරත වී තිබේ. විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (04) පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කරුණු අනාවරණය කළේය. කලාපීය වශයෙන් ඇති වී තිබෙන මෙම යුදමය තත්ත්වය ශ්‍රී ලංකාවට ද සෘජුව බලපාන බැවින්, පවතින ගැටලු සඳහා සාකච්ඡාමය විසඳුමකට යා යුතු බව රජයේ ස්ථාවරය බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වී ඇත්තේ මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳවයි. විශේෂයෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා මෙරට ඉන්ධන සැපයුමට සහ භාණ්ඩ මිල ඉහළ යාමට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ද රජයේ අවධානය යොමු වී තිබේ. ඕනෑම හදිසි අවස්ථාවකදී මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















