ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු සීමාව හෝ ගුවන් කලාපය කිසිදු විදේශීය රාජ්‍යයකට ගැටුම් පවතින අවස්ථාවකදී පක්ෂපාතී ලෙස භාවිත කිරීමට හෝ වෙනත් රටකට පීඩාවක් වන අයුරින් භාවිත කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අද (05) රාත්‍රියේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙරට ස්වෛරීභාවය සහ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය නොවෙනස්ව පවත්වාගෙන යන බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය සහ ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ සිදුවූ නාවික ප්‍රහාරයන් හමුවේ රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. කිසිදු යුදමය පාර්ශවයකට සහය නොදක්වන “නොබැඳි” පිළිවෙතක් අනුගමනය කරන බවත්, කලාපීය සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව උපරිමයෙන් කැපවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම තීරණය ජාත්‍යන්තර ආරක්ෂාව සහ මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ගත් ප්‍රතිපත්තිමය පියවරක් බව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.














