මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (05) පැවැති 2026 විස්සයි-20 ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය ලකුණු 7කින් පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව සංජු සැම්සන්ගේ (89) සහ ශිවම් දූබේගේ (43) වේගවත් ඉනිම් හමුවේ ලකුණු 253ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 246ක් රැස් කරමින් අවසන් පන්දුව දක්වාම සටන් කළද ජයග්‍රහණය කරා යාමට අපොහොසත් විය.
එංගලන්ත ඉනිම වෙනුවෙන් ජේකබ් බෙතල් පන්දු 48කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 8ක් සමඟින් ලකුණු 105ක විශිෂ්ට ශතකයක් රැස් කරමින් ජයග්‍රහණය අසලටම සිය කණ්ඩායම රැගෙන ආවේය. අවසන් පන්දුවාර කිහිපය තුළ විල් ජැක්ස් (35) සහ ජොෆ්රා ආචර් (19*) වේගයෙන් ලකුණු රැස් කළද, ඉන්දීය පන්දු යවන්නන් වන හර්දික් පාණ්ඩ්‍යා (කඩුලු 2), ජස්ප්‍රිට් බුම්රා (කඩුලු 1) සහ අර්ෂ්දීප් සිං (කඩුලු 1) පීඩනය හමුවේ සිය වගකීම ඉටු කළහ. බෙතල් 20 වැනි පන්දුවාරයේ මුල් පන්දුවෙන්ම දුවද්දී දැවී යාම තරගයේ තීරණාත්මක හැරවුම් ලක්ෂය විය.














