ශ්‍රී ලංකාව තුළ LGBTIQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම හෝ සංවර්ධනය කිරීම සිදු නොකිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නීතිපතිවරයා අද (05) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. එවැනි ව්‍යාපෘති සඳහා ලබා දී තිබූ අනුමැතියක නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරමින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. මීට පෙර සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් LGBTIQ සංචාරක ප්‍රවර්ධනයට අදාළව නිකුත් කර තිබූ නිල ලිපිය ද මේ වන විට ඉල්ලා අස්කරගෙන ඇති බව මෙහිදී වැඩිදුරටත් වාර්තා විය.
රජය සහ සංචාරක සංවර්ධන අධිකාරිය සිය මුල් තීරණය වෙනස් කරමින් ගෙන ඇති මෙම නව ප්‍රතිපත්තිමය පියවර සැලකිල්ලට ගත් පෙත්සම්කරුවන්, තමන් ඉදිරිපත් කළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන නොයෑමටත් එය ඉල්ලා අස්කර ගැනීමටත් එකඟතාව පළ කළහ. මෙරට සංස්කෘතික හා සමාජීය වටිනාකම්වලට බලපෑමක් සිදුවන බවට එල්ල වූ විරෝධතා සහ නීතිමය තර්ක හමුවේ රජය මෙම තීරණයට එළඹ ඇති බව දේශපාලන හා නීති අංශ පෙන්වා දෙයි.














