මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ලෝකයේ තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ග අවහිර වී ඇති අතර, මෙය ඉතිහාසයේ වාර්තා වූ විශාලතම තෙල් සැපයුම් බාධාව (Oil supply disruption) ලෙස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) හඳුන්වා දී තිබේ.
පැරිස් නුවර මූලස්ථානය කරගත් මෙම සංවිධානය, සිය වාර්ෂික තෙල් සැපයුම් වර්ධන පුරෝකථනයන් (Forecast) විශාල වශයෙන් පහත දැමීමට පියවර ගෙන ඇත. මීට පෙර දිනකට බැරල් මිලියන 2.4ක සැපයුම් වර්ධනයක් අපේක්ෂා කළද, වත්මන් යුද තත්ත්වය හමුවේ එය බැරල් මිලියන 1.1ක් දක්වා අඩකින් පමණ කපා හැරීමට ඔවුන් තීරණය කර තිබේ.
ලෝකයේ බලශක්ති ප්‍රවාහනය සඳහා අතිශය වැදගත් වන මුහුදු මාර්ග යුද්ධය හේතුවෙන් අවහිර වීමත් සමඟ පවතින අර්බුදයට විසඳුම් ලෙස හදිසි තෙල් සංචිත (Emergency stock release) වෙළඳපොළට මුදා හැරීමට පියවර ගත්ත ද, සැපයුම් දාමයට එල්ල වී ඇති බලපෑම තවමත් සමනය වී නොමැති බව IEA වාර්තා පෙන්වා දෙයි. මෙම තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.














