මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය නොසන්සුන්තා මධ්‍යයේ සෞදි අරාබියේ සිට බොරතෙල් රැගෙන ආ පළමු ඉන්දීය නෞකාව සාර්ථකව හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කර මුම්බායි වරායට සේන්දු වී තිබේ. ලයිබීරියානු ධජය යටතේ ලියාපදිංචි ‘Shenlong’ නම් මෙම නෞකාව, ඇමෙරිකාව, ඉශ්‍රායලය සහ ඉරානය සම්බන්ධ යුද්ධය නිසා නාවික ගමනාගමනයට බාධා එල්ල වීමෙන් පසු ඉන්දියාවට ළඟා වූ පළමු තෙල් නෞකාව ලෙස වාර්තා වේ.
ඉන්දීය ජාතික කප්පිත්තෙකු විසින් මෙහෙයවනු ලැබූ මෙම ‘Suezmax’ වර්ගයේ දැවැන්ත නෞකාව පසුගිය මාර්තු 01 වනදා සෞදි අරාබියේ රාස් තනුරා (Ras Tanura) වරායෙන් බොරතෙල් ලබාගෙන ඇති අතර දින දෙකකට පසුව එනම් මාර්තු 03 වනදා ඉන්දියාව බලා සිය ගමන ආරම්භ කර ඇත. හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ප්‍රහාර එල්ල වීම් හමුවේ මෙම නෞකාව ආරක්ෂිතව ඉන්දියාවට ළඟා වීම එරට බලශක්ති ක්ෂේත්‍රයේ යම් ස්ථාවරත්වයක් අපේක්ෂා කළ හැකි සුබ ලකුණක් ලෙස සැලකේ.
යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල වී ඇති පසුබිමක මෙවැනි නෞකාවක් සාර්ථකව සිය ගමනාන්තය කරා ළඟා වීම ජාත්‍යන්තර අවධානයට ද ලක්ව තිබේ. මෙය කලාපයේ පවතින අවදානම් සහගත වාතාවරණය හමුවේ වුවද තීරණාත්මක සැපයුම් දාමයන් පවත්වාගෙන යාමට ඇති හැකියාව පෙන්නුම් කරන අවස්ථාවක් බව නාවික ක්ෂේත්‍රයේ විචාරකයෝ පෙන්වා දෙති.














