මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වුවද, මෙරට තුළ ඉන්ධන අර්බුදයක් ඇති නොවන බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහතික වෙයි. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර මහතා ප්‍රකාශ කළේ ඉන්ධන හිඟයක් ඇති නොවීමට අවශ්‍ය සියලු පියවර මේ වන විටත් ගෙන ඇති බවයි.
ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ සැපයුම් ජාලයන්හි ඇති වී තිබෙන අවහිරතා සැලකිල්ලට ගනිමින්, පසුගියදා සිදු කළ ඉන්ධන මිල සංශෝධනය ද මෙරට ඉන්ධන තොග කළමනාකරණය කර ගැනීමට ගත් පූර්ව ආරක්ෂිත පියවරක් බව ඔහු පෙන්වා දුන්නේය. මේ වන විට රට සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන පරිදි, ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ඇණවුම් දැනටමත් ස්ථිර කර ඇති අතර, ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි විකල්ප සැපයුම් මාර්ග ඔස්සේ ඉන්ධන ආනයනය කිරීම අඛණ්ඩව සිදු කෙරේ. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇති වීමට කිසිදු හේතුවක් නොමැති බව රජය අවධාරණය කරයි.
















