ඉරානය සමඟ පවතින යුද්ධයේ මුල් දින හය තුළ පමණක් ඇමෙරිකානු රජය අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 11.3 ක මුදලක් වැය කර ඇති බව නවතම වාර්තා හෙළි කරයි. යුද්ධය දිගින් දිගටම ඇදී යාමත් සමඟ මෙම පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව විෂය පිළිබඳ දැනුමක් ඇති මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. යුදමය වියදම් ඉහළ යාම ඇමෙරිකානු ආර්ථිකයට ද යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනාවැකි පළ කරති.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුම හරහා තවත් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයේ “ත්‍රස්තවාදී පාලනය” යුදමය හා ආර්ථිකමය වශයෙන් සහමුලින්ම විනාශ කර ඇති බවයි. ඉරාන ආරක්ෂක අංශ මේ වන විට සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවත්, ලොව ප්‍රබලතම අවි බලය සහ අසීමිත පතොරම් තොග ඇමෙරිකාව සතු බැවින් මෙම ප්‍රහාර තවදුරටත් අඛණ්ඩව දියත් කරන බවත් ඔහු අවධාරණය කළේය.
ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයන්ට අනුව, ඉරානය සම්පූර්ණයෙන්ම දණගැස්වීම සඳහා ඇමෙරිකාව පසුබට නොවන බව පෙනී යයි. ඉරානය ආර්ථික වශයෙන් අඩපණ වී ඇති බව ට්‍රම්ප් පැවසුවද, යුද්ධය සඳහා වැයවන අතිවිශාල ධනය හේතුවෙන් ඇමෙරිකාව ද යම් පීඩනයකට ලක්වෙමින් පවතින බව ඇතැම් වාර්තාවල සඳහන් වේ. කෙසේ වෙතත්, ඇමෙරිකානු මිලිටරි මෙහෙයුම් තවදුරටත් දැඩි වී ඇති බව පැහැදිලිය.
















