ඇමෙරිකාව සහ ඉස්රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුම් හමුවේ මැදපෙරදිග කලාපය පුරා හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උත්සන්න කරමින් ඕමානයේ සෝහාර් (Sohar) ප්‍රදේශයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් විදේශිකයන් දෙදෙනෙකු මියගොස් තිබේ. ඕමාන රාජ්‍ය පුවත් ඒජන්සිය වාර්තා කරන පරිදි, ඉන් එක් ඩ්‍රෝන යානයක් අල්-අවාහි කාර්මික කලාපයට පතිත වීමෙන් මෙම මරණ සිදුව ඇති අතර තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත. තවත් ඩ්‍රෝන යානයක් ජනශුන්‍ය ප්‍රදේශයකට පතිත වී ඇති අතර, ඉන් කිසිවෙකුට හානි සිදුව නොමැත. මීට පෙර පසුගිය බදාදා දිනයේදී ද ඕමානයේ සලාලා (Salalah) වරායේ ඉන්ධන ටැංකි වෙත ප්‍රහාර එල්ල වූ අතර ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
ඕමානයට අමතරව සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කර ගනිමින් ද අද (13) අලුයම දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල විය. සවුදි අරාබියේ රියාද් නුවර විදේශ තානාපති කාර්යාල පිහිටි ආරක්ෂිත කලාපය (Diplomatic Quarter) ඉලක්ක කර පැමිණි ප්‍රහාරක ඩ්‍රෝන යානයක් ඇතුළුව යානා 14කට අධික ප්‍රමාණයක් විනාශ කිරීමට සවුදි ආරක්ෂක අංශ සමත්ව තිබේ. මේ අතර ඩුබායි නගරය වෙත එල්ල වූ ප්‍රහාරයක් එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් මැඩපැවැත්වූ අතර, එහි සුන්බුන් නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් මතට පතිත වීමෙන් දේපළ හානි සිදුවුවද ජීවිත හානි වාර්තා නොවේ.
පසුගිය පෙබරවාරි 28 වනදා ඉස්රායලය සහ ඇමෙරිකාව එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු කලාපය පුරා මෙම යුදමය වාතාවරණය හටගත් අතර, ඉන් පුද්ගලයන් 1,300ක් පමණ මියගොස් 10,000කට අධික පිරිසක් තුවාල ලබා ඇත. මෙයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඇමෙරිකානු යුද මධ්‍යස්ථාන පිහිටි ගල්ෆ් කලාපයේ රටවල් වෙත අඛණ්ඩව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි. මේ අතර ලෙබනනය ද ඊශ්‍රායලයේ දැවැන්ත බෝම්බ ප්‍රහාරවලට ලක්වෙමින් පවතින අතර, ඉන් මේ වන විට පුද්ගලයන් 700කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත.













