ලෝක දේශපාලනික සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීතාව සහ පුරවැසි සුබසාධනය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවන ලද ආර්ථික නිරීක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් විය. ඊයේ (12) පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ වත්මන් මැදපෙරදිග ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම, සමුද්‍රීය සැපයුම් දාමයන්ට එල්ල වී ඇති බාධා සහ ජාත්‍යන්තර වෙළඳාමේ පවතින දුෂ්කරතා ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල කළ හැකි අහිතකර බලපෑම් පිළිබඳවයි.
පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ දේශීය වෙළඳපොළ ස්ථාවරව පවත්වා ගැනීමට සහ පුරවැසියන් මත පැටවෙන ආර්ථික බර ලිහිල් කිරීමට ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම ඉන්ධන සහ ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමත්, වරාය සහ අපනයන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමත් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය. මීට පෙර පැවති කමිටු වාරයේදී ගනු ලැබූ තීරණවල ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කර තිබේ.
මෙම තීරණාත්මක හමුව සඳහා කැබිනට් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මහා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ ආර්ථික උපදේශකවරුන් සහ ඛනිජ තෙල්, ලිට්රෝ ගෑස්, වරාය අධිකාරිය, අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ප්‍රධාන රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් පිරිසක් සහභාගී වී සිටියහ. විදේශ ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි මෙම යුදමය වාතාවරණය බලපාන ආකාරය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.














